අද මැයි පළමුවැනිදා ලෝක කම්කරු දිනයයි. 1886 මැයි මාසයේ ඇමෙරිකාවේ චිකාගෝ නුවර වැඩ කරන වේලාව පැය 8කට සීමා කරන්න කියලා ඉල්ලපු කම්කරුවන්ගේ උද්ඝෝෂණයට පොලීසිය පහර දීලා කම්කරුවන් මිය යාම සිහිපත් කරමින් හැම අවුරුද්දකම මැයි පළවෙනිදා ලෝක කම්කරු දිනය සමරනවා. ඒ අනුව ලෝකයේ හැම රටකම මේ දිනයේ පෙළපාලි, රැස්වීම් සංවිධානය කරනවා.
මේ වතාවෙත් ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන කම්කරු දිනය සමරන්න මැයි දින පෙළපාලි රැස්වීම් සංවිධානය කරලා තියෙනවා. කොළඹ නගරය ඇතුළේ මැයි දින රැලි 14ක් සහ පෙළපාලි දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කරලා තියෙනවා.
ජාතික ජනබලවේගය ඔවුන්ගේ මැයි දින රැලිය ගාලුමුවදොර පිටියේදී පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. “රට හදන ජනබලය පෙළගැසෙන මැයි රැලිය” කියන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සැමරුම පවත්වන්න සැලසුම් කරලා තියෙනවා කියලා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කිව්වා.
සමගි සන්ධානයේ මැයි දින රැළිය සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැළේ ළිදුල නගර සභා පිටියේදී පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. “රට දිනුමට කම්කරු බලය” කියන තේමාව යටතේ මේ රැළිය පවත්වන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
පොදුජන පෙරමුණේ මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පවත්වන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කිව්වා. “රැවටිල්ල ඉවසුවා ඇති දැන් ඉතිං නැගිටිමු” කියන තේමාව යටතේ තමයි මේ රැලිය සංවිධානය කරලා තියෙන්නේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ඔවුන්ගේ මැයි රැලිය මෙවර පක්ෂ මූලස්ථානයේදී පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. “බොරුව නවතනු – පොරොන්දු ඉටුකරනු” කියන තේමාව යටතේ තමයි ඔවුන්ගේ මැයි රැලිය පවත්වන්න සැලසුම් කරලා තියෙන්නේ කියලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියන්න මහතා ප්‍රකාශ කළා.
සර්ව ජන බල පක්ෂය “කම්කරුවා ව්‍යවසායකත්වය කරා” කියන තේමාව යටතේ මෙවර මැයි දින රැලිය පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වරකාපොළ සතිපොළ භූමියේදී උදේ 10.30ට මේ රැලිය පවත්වන්න නියමිතයි.
අද දවසේ පවත්වන මැයි දින පෙළපාළි නිසා විශේෂ රථවාහන සැලැස්මක් සහ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පොලීසිය තීරණය කරලා තියෙනවා. ඒ වගේම දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට එන බස් රථ නවත්වන්න විශේෂ වාහන නැවැතුම් ස්ථාන සකස් කරලා තියෙනවා කියලත් ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළා.