කොත්මලේ ගාමිණි දිසානායක ජාතික පාසලේ අද (19) පෙරවරුවේ පැවැත්වුණු ඩෙංගු මර්ධන ශ්‍රමදාන වැඩසටහනක් අතරතුරදී, පාසල් භූමියේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් දරුණු බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම අනපේක්ෂිත අනතුර හේතුවෙන් පාසල් සිසුන් 07 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.
පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී සිදුවූ ශබ්දය සහ කලබලකාරී වටපිටාව හේතුවෙන් ගසේ තිබූ බඹර කූඩුව එකවරම ඇවිස්සී එහි සිටි බඹරුන් මෙලෙස සිසුන්ට සහ දෙමාපියන්ට දෂ්ට කර ඇති බව වාර්තා වේ.
බඹර ප්‍රහාරය එල්ල වූ සැනින් පාසල් බලධාරීන් සහ ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වී ඇති අතර, තුවාල ලැබූ දරුවන් සහ මව්වරුන්ව කඩිනමින් රෝහල්ගත කිරීම සඳහා 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ සහය ලබාගෙන තිබේ. සුවසැරිය නිලධාරීන් විසින් ප්‍රාථමික ප්‍රතිකාර ලබාදෙමින් තුවාලකරුවන්ව ආරක්ෂිතව රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළේය.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝහල්ගත කළ පිරිසට වහාම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි. මෙම සිදුවීමත් සමඟ පාසලේ ශ්‍රමදාන කටයුතු තාවකාලිකව නතර කර ඇති අතර, පාසල් භූමියේ පවතින බඹර අවදානම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙමාපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.v