අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් (Rhode Island) ප්‍රාන්තයේ පැවැති උසස් පාසල් හොකී තරගයක් අතරතුර සිදුවූ දරුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, මෙම ප්‍රහාරය එල්ල කළ සැකකරු ද පසුව තමාටම වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙය පොදු ස්ථානයක සිදුකළ අහඹු ප්‍රහාරයක් නොව, කිසියම් පුද්ගල කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් සැලසුම් සහගතව සිදුකළ වෙඩි තැබීමක් බවයි. මෙයට පාදක වී ඇත්තේ කාලයක් තිස්සේ පැවති පවුල් ආරවුලක් බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තිදෙනා මේ වන විට ප්‍රාදේශීය රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ. තරගය නැරඹීමට පැමිණ සිටි සිසුන් සහ දෙමාපියන් මෙම සිදුවීමත් සමඟ දැඩි කම්පනයට පත්ව ඇති අතර, ආරක්ෂක හේතූන් මත ප්‍රදේශයේ සියලුම පාසල් ක්‍රීඩා තරග තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් රෝඩ් අයිලන්ඩ් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, වෙඩි තැබීම සඳහා යොදාගත් ගිනිඅවිය සැකකරු වෙත ලැබුණු ආකාරය පිළිබඳව ද සොයා බලමින් පවතී.