ඉරානය සමඟ පවතින ගැටුම් ආරම්භයේ සිට අමෙරිකා එක්සත් ජනපදය අපේක්ෂා කළ “සෑම ඉලක්කයක්ම” ඉතා සාර්ථක ලෙස ජයගෙන ඇති බව ධවල මන්දිරය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශේෂ සටහනක් තබමින් ධවල මන්දිර බලධාරීන් පෙන්වා දෙන්නේ, මෙම මෙහෙයුම් හරහා ඉරානයේ යුද ශක්තිය දැඩි ලෙස අඩපණ කිරීමට තමන් සමත් වූ බවයි.
එම නිවේදනයට අනුව අමෙරිකාව අත්කරගත් ප්‍රධාන ජයග්‍රහණ කිහිපයක් මෙසේය:
නාවික බලය බිඳදැමීම: ඉරාන නාවික හමුදාව සතු මෙහෙයුම් හැකියාවන් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇත.
ආරක්ෂක පද්ධතිය අඩපණ කිරීම: ටෙහෙරාන් අගනුවර කේන්ද්‍ර කරගත් ඉරානයේ ආරක්ෂක කාර්මික පදනම සහමුලින්ම අතුගා දමා තිබේ.
න්‍යෂ්ටික වැඩසටහන: ඉරානය සතු වූ න්‍යෂ්ටික අභිලාෂයන් සහ ඒ ආශ්‍රිත ව්‍යාපෘති සාර්ථකව ව්‍යර්ථ කර ඇත.
ඉරානය විසින් මීට පෙර මැදපෙරදිග කලාපයේ අසල්වැසි රටවලට එල්ල කළ තර්ජනාත්මක ස්වභාවය දැන් අවසන් වී ඇති බව අමෙරිකාව අවධාරණය කරයි. “කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් වීමට ඉරානයට තිබූ හැකියාව ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇති” බව ධවල මන්දිර ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ අමෙරිකානු බලය තහවුරු වී ඇති බව පෙනී යන අතර, ඉරානය මේ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි. විශේෂයෙන්ම සටන් විරාමයකට එළඹීමට පෙර අමෙරිකාව මෙවැනි දැඩි ස්ථාවරයක් ප්‍රකාශ කිරීම දේශපාලනික වශයෙන් ඉතා තීරණාත්මක වනු ඇත.