මැදපෙරදිග පවතින දැඩි යුදමය වාතාවරණය සමනය කිරීම සඳහා ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (J.D. Vance) සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ (Marco Rubio) ඇතුළු ඉහළ පෙළේ කණ්ඩායමක් මෙම සාකච්ඡාවලට නායකත්වය දෙන බවත්, දෙපාර්ශවය අතර පොදු එකඟතාවකට පැමිණීමේ දැඩි බලාපොරොත්තුවක් පවතින බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් හමු වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉරාන පාර්ශවය මේ වන විට ගිවිසුමකට එළඹීමට කැමැත්ත පළ කර ඇති බවයි. ඉරානයේ නාවික සහ ගුවන් හමුදාවන්ට මෙන්ම සන්නිවේදන පද්ධතිවලට එල්ල වී ඇති දැඩි හානි හමුවේ ඔවුන් දැන් “බුද්ධිමත් ලෙස” සාකච්ඡා මේසයට පැමිණ සිටින බව ද ඔහු අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවල මූලිකම සහ වැදගත්ම පදනම වන්නේ ඉරානය සතුව කිසිදු අයුරකින් න්‍යෂ්ටික අවි නොතිබිය යුතු බව යැයි ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කළේය. මීට පෙර සටන් විරාමයක් අවශ්‍ය නොවන බව පැවසූ ජනාධිපතිවරයා සිය ස්ථාවරය වෙනස් කළේ මන්දැයි විමසූ විට, ඔහු ප්‍රකාශ කළේ ඉරානය දැන් අමෙරිකාව සමඟ සාධනීය ලෙස කතා කිරීමට පෙළඹී සිටින බවයි.
“ඔවුන් කිසිදා න්‍යෂ්ටික අවි ළඟ තබා නොගන්නා බවට මේ වන විට එකඟ වී තිබෙනවා,” යනුවෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ කලාපීය ආරක්ෂාව පිළිබඳව නව බලාපොරොත්තුවක් ඇති වී තිබේ. කෙසේ වෙතත්, මෙම සාකච්ඡාවල අවසන් ප්‍රතිඵලය කුමක් වනු ඇත්දැයි මුළු ලෝකයම අවධානයෙන් පසුවෙයි.