ඉරානයේ පවතින බලශක්ති සම්පත් තමන් සතු කර ගැනීමට මෙන්ම එරට ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත (Kharg Island) අත්පත් කර ගැනීමට අමෙරිකාවට පූර්ණ හැකියාව පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මැදපෙරදිග පවතින උණුසුම් වාතාවරණය හමුවේ ඔහු කළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.
“මගේ ප්‍රියතම දෙය තමයි ඉරානයේ තෙල් ලබා ගැනීම,” යනුවෙන් සඳහන් කළ ජනාධිපතිවරයා, මෙම ක්‍රියාමාර්ගය විවේචනය කරන පිරිස් දැඩි ලෙස දෝෂාරෝපණයට ලක් කළේය. අමෙරිකාව තුළ සිටින ඇතැම් පිරිස් මෙවැනි ක්‍රියාමාර්ගවල වැදගත්කම වටහා ගැනීමට අපොහොසත් වී ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉරානයේ සමස්ත බොරතෙල් අපනයනයෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කෙරෙන්නේ පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි කාග් දූපත හරහාය. එම නිසා මෙම මධ්‍යස්ථානය අත්පත් කර ගැනීම හෝ එහි පාලනය නතු කර ගැනීම යනු ඉරානයේ ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය අඩපණ කිරීමක් බව යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ගෝලීය තෙල් වෙළෙඳපොළ සහ මැදපෙරදිග ආරක්ෂක තත්ත්වය පිළිබඳව නව කතාබහක් නිර්මාණය වී තිබේ. ඉරානයේ ස්වභාවික සම්පත් කෙරෙහි අමෙරිකාව දක්වන මෙම සෘජු උනන්දුව කලාපීය බල අරගලය තවදුරටත් තීව්‍ර කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.