ඇමෙරිකානු සමාගමක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රබල සයිබර් ප්‍රහාරයක වගකීම භාරගත් ඉරානය පදනම් කරගත් හැකර් කණ්ඩායමකට එරෙහිව එෆ්.බී.අයි (FBI) ආයතනය දැඩි පියවර ගෙන තිබේ. ඒ අනුව, එම හැකර් කණ්ඩායම විසින් පවත්වාගෙන ගිය ප්‍රධාන වෙබ් අඩවි හතරක් තම භාරයට ගැනීමට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කර ඇත.
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම හැකර් ක්‍රියාකාරකම් පිටුපස ඉරාන බුද්ධි හා ආරක්ෂක අමාත්‍යාංශය (MOIS) සෘජුවම සිටින බවයි. ඉරාන රජයේ මෙහෙයවීම මත සිදුවන දේශසීමා මර්දන සැලසුම් සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන විනාශකාරී ක්‍රියාවන් අඩපණ කිරීමේ අඛණ්ඩ මෙහෙයුමක කොටසක් ලෙස මෙම වෙබ් අඩවි තහනම් කර තිබේ.
අත්පත් කරගත් මෙම වෙබ් අඩවි හුදෙක් සයිබර් ප්‍රහාර සඳහා පමණක් නොව, විවිධ පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩත්වය පැතිරවීමට ද භාවිත කර ඇති බව හෙළි වී තිබේ. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්, ඉරාන රජයේ විරුද්ධවාදීන් සහ ඊශ්‍රායල වැසියන් ඝාතනය කරන ලෙසට මෙම වෙබ් අඩවි හරහා බලපෑම් සහ අනුබල ලබා දී ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කළේය.
මෙම පියවරත් සමඟ ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින සයිබර් යුද්ධය තවදුරටත් උත්සන්න වී ඇති අතර, ජාත්‍යන්තර මට්ටමින් ක්‍රියාත්මක වන සයිබර් අපරාධකරුවන්ට එරෙහිව තාක්ෂණික හා නීතිමය පියවර ගැනීම තීව්‍ර කරන බව ඇමෙරිකාව අවධාරණය කරයි.