ලෝක දේශගුණික රටාවන් උඩුයටිකුරු කරන ප්‍රබල ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධියේ බලපෑම ලබන මාසයේ සිට ශ්‍රී ලංකාවේ කාලගුණය කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවයි.
පැසිෆික් සාගරය ආශ්‍රිතව දැනටමත් මෙම දේශගුණික විපර්යාසය සක්‍රිය මට්ටමින් වර්ධනය වී ඇති අතර, මෙරට කාලගුණයට ඉන් එල්ල වන බලපෑම ඉදිරි මාස 11ක පමණ දීර්ඝ කාලසීමාවක් පුරා විවිධ මට්ටම්වලින් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ ඇස්තමේන්තු කරති.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මූලික නිරීක්ෂණවලට අනුව, මෙම ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී රටට ලැබීමට නියමිත නිරිතදිග මෝසම් වැසි (South-West Monsoon) කෙරෙහි සෘජු හා අහිතකර බලපෑම් එල්ල වීමේ ඉඩකඩක් පවතියි. ඇතැම් විට මෝසම් වැසි සක්‍රිය වීම ප්‍රමාද වීම හෝ වර්ෂාපතන ප්‍රමාණය සාමාන්‍ය අගයට වඩා සැලකිය යුතු මට්ටමකින් පහත වැටීම මින් සිදුවිය හැකිය.
මෙමඟින් දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් පහත වැටීම, කෘෂිකාර්මික කටයුතුවලට බාධා එල්ල වීම සහ ඉදිරියේදී දැඩි වියළි කාලගුණික තත්ත්වයක් (Drought) රට තුළ නිර්මාණය වීමේ අවදානමක් ද මතු වේ.
‘එල් නිනෝ’ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට, ජල සැපයුමට සහ විදුලි උත්පාදනයට සිදුවිය හැකි දැවැන්ත බලපෑම කළමනාකරණය කරගැනීම සඳහා වන විශේෂ සහ හදිසි රාජ්‍ය සාකච්ඡාවක් අද (10) පැවැත්වීමට නියමිතව තිබේ. මෙමඟින් අර්බුදයට පිළියම් යෙදීම සහ මහජනතාව මෙන්ම ගොවි ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩපිළිවෙලක් සකස් කෙරේ.