ලෝක සාමය සහ බුදු දහමේ පණිවිඩය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින් මෙරටදී දින 07ක් පුරා පැවැත්වුණු ”ඒහිපස්සිකෝ” සාම පාගමන සාර්ථකව නිම කරමින්, වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස අද (29) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනෙන් පිටව ගියහ.
අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත වැඩම කළ මහා සංඝරත්නය වෙත දන් පිළිගැන්වීමට කටයුතු යොදා තිබුණි. එහිදී ගුවන්තොටුපොළේ සේවයේ නියුතු නිලධාරීන් සහ සේවක සේවිකාවන් විශාල පිරිසක් පැමිණ ස්වාමින් වහන්සේලාගෙන් ආශිර්වාද ලබාගත්හ.
අනතුරුව අද උදෑසන 07.12ට තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය මෙම පිරිස, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් අමෙරිකාව බලා යාමට නියමිතය.
ඇමෙරිකාවේ සිට මෙම සාම පා ගමනට එක්වූ “ආලෝකා” නැමැති සුනඛයා පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. සත්ත්වයාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ගුවන් ගමනට අදාළ නෛතික ලියකියවිලි පරීක්ෂා කිරීම සඳහා පශු වෛද්‍යවරුන්, ගුවන් තොටුපොළ පොලිසිය සහ ගුවන් හමුදා නිලධාරීන් විශේෂ මැදිහත්වීමක් සිදු කර තිබුණි.
මෙම සාම පා ගමනේ නිල සමාප්ති උත්සවය ඊයේ (28) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රාජ්‍ය උත්සවයේදී, සාමය වෙනුවෙන් සිදුකළ මෙම ජාත්‍යන්තර මැදිහත්වීම අගය කරනු ලැබීය.