කළුතර වෙඩි තැබීමට ආධාර දුන් තවත් සැකකරුවෙක් දැලට

පසුගිය මැයි මස 28 වැනිදා උදෑසන කාලයේ කළුතර දකුණ පොලිස් වසමට අයත් වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෝටර් රථයකින්

මිතුරන් සමග බෙදාගන්න

පසුගිය මැයි මස 28 වැනිදා උදෑසන කාලයේ කළුතර දකුණ පොලිස් වසමට අයත් වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිදුකළ බිහිසුණු වෙඩි තැබීමේ ඝාතන අපරාධයට සෘජුවම ආධාර අනුබල දුන් තවත් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් ඊයේ (07) වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර ප්‍රදේශයේදී දියත් කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකරුවාව කොටුකර ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට අනුව, මෙලෙස අලුතින්ම අත්අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මෙම සාහසික ඝාතනය සැකසුම් කිරීමට, සැකකරුවන්ට රැකවරණය දීමට හෝ ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් කළුතර අපරාධ විමර්ශන අංශය මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටියි.

මේ අතර, මෙම මාරාන්තික වෙඩි තැබීම සෘජුවම සිදුකළ බවට සැක කෙරෙන ප්‍රධාන වෙඩික්කරුවාව ද පසුගිය ජුනි 02 වැනිදා පොලිස් බුද්ධි අංශ මැදිහත් වීමෙන් සාර්ථකව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස මීට දින කිහිපයකට පෙර කොටුකරගත් ප්‍රධාන වෙඩික්කරු පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි වියේ පසුවන, පාතාල සබඳතා ඇති බව කියන “සම්පත් කුමාරතුංග” නොහොත් ‘බෝංචියා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන සංවිධානාත්මක අපරාධකරුවෙකි.

මෙම සංවිධානාත්මක වෙඩි තැබීමට යොදාගත් මෝටර් රථය, ගිනිඅවි සහ මීට සම්බන්ධ සෙසු පාර්ශවකරුවන් සොයා කළුතර දිසා අපරාධ කොට්ඨාසය සහ අනුබද්ධිත පොලිස් කණ්ඩායම් කිහිපයක් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරමින් පවතියි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්