කෑගල්ල පොදු වෙළඳ සංකීර්ණයේ ගින්නක්: වෙළඳසැල් 56ක් විනාශ වෙයි

කෑගල්ල නගරයේ පොදු වෙළඳ සංකීර්ණයේ ඇති වූ ගින්නකින් වෙළඳසැල් 56ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වේ. වෙළඳුන් චෝදනා කරන්නේ, කෑගල්ල නගර සභාවට ගිනි නිවීමේ

මිතුරන් සමග බෙදාගන්න

කෑගල්ල නගරයේ පොදු වෙළඳ සංකීර්ණයේ ඇති වූ ගින්නකින් වෙළඳසැල් 56ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වේ. වෙළඳුන් චෝදනා කරන්නේ, කෑගල්ල නගර සභාවට ගිනි නිවීමේ රථයක් නොමැති වීම හේතුවෙන් ගින්න මැඩපැවැත්වීමට නොහැකි වූ බවයි.

වෙළඳසැල් 70කට ආසන්න සංඛ්‍යාවක් පිහිටි මෙම වෙළඳ සංකීර්ණයේ ගින්න ඊයේ (සැප්තැම්බර් 14) පස්වරුවේ හටගෙන තිබෙනවා. ගින්න ඇතිවීමට පෙර නගරයට විදුලිය විසන්ධි වී තිබූ අතර, සමහර වෙළඳසැල්වල විදුලි උත්පාදන යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබුණා. විදුලිය යළි පැමිණීමත් සමඟ එක් වෙළඳසැලකින් ගින්න හටගෙන ඇති බව කෑගල්ල නගර සභාවේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ගින්න මැඩපැවැත්වීම සඳහා මාවනැල්ල, කුරුණෑගල සහ මහනුවරින් ගිනි නිවීමේ රථ පැමිණියත්, කෑගල්ල නගර සභාව සතුව ගිනි නිවීමේ රථයක් නොමැතිවීම දැඩි ගැටලුවක් බව වෙළඳුන් පෙන්වා දෙනවා. කෑගල්ල සිංහල වෙළඳ බලමණ්ඩලයේ විධායක සභා සාමාජික සුසන්ත කෝසල මහතා කියා සිටියේ, වෙළඳුන් වාර්ෂිකව නගර සභාවට පිරිවැටුම් බද්දක් ගෙවුවත්, වසර ගණනාවක් තිස්සේ ගිනි නිවීමේ රථයක් ලබා ගැනීමට පාලනාධිකාරියට නොහැකි වීම කණගාටුදායක බවයි.

කෑගල්ල නගර සභාවේ විපක්ෂ නායක ලක්ෂ්මන් දිසානායක මහතා ප්‍රකාශ කළේ, ගින්න නිවීමේ මෙහෙයුම් අතරතුර ජලය සපයා ගැනීමේදීද ගැටළු මතු වූ බවයි. ගින්නෙන් පොදු වෙළඳ සංකීර්ණයේ ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර, හානිය තක්සේරු කිරීමට සහ ගින්නට හේතුව සොයා ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා අද එම ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්