කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පවත්වනු ලබන උතුම් සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමේ පින්කම හෙට (පෙබරවාරි 11) පෙරවරු 6.00ට අවසන් වීමට නියමිතය.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා දැනුම් දෙන්නේ, ධාතූන් වහන්සේ වන්දනා කිරීමට බලාපොරොත්තු වන සැදැහැවතුන් අද (10) රාත්‍රී 10.00ට පෙර පෝළිම්වලට එක්විය යුතු බවයි. නියමිත වේලාවට වන්දනාව අවසන් කිරීමට සිදුවන බැවින් මෙම පියවර ගෙන තිබේ.
මෙරට 78 වැනි නිදහස් සැමරුමට සමගාමීව, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් වැඩම කරවන ලද ඓතිහාසික “දෙව්නිමෝරි” ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුගිය පෙබරවාරි 05 වැනිදා සිට ගංගාරාමයේදී ජනතාවට වන්දනාමාන කිරීමට අවස්ථාව උදා විය.
ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත වැඩම කළ ධාතූන් වහන්සේ, විශේෂ රිය පෙරහරකින් ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවන ලදී.ධාතූන් වහන්සේ වෙත ප්‍රථම පුෂ්පෝපහාරය දැක්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු විය.
දින කිහිපයක් පුරා දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක් වූ මෙම පින්කම හෙට අලුයම අවසන් වන බැවින්, මෙතෙක් වන්දනාමාන කිරීමට නොහැකි වූ පිරිස් අද රාත්‍රී 10ට පෙර පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටී.