රට තුළ පවතින විදේශ විනිමය සංචිත ආරක්ෂා කරගැනීම සහ භාණ්ඩ ආනයනය කිරීමේදී සිදුවන විදේශ මුදල් ගෙවීම් වඩාත් විධිමත් මෙන්ම කාර්යක්ෂමව අධීක්ෂණය කිරීම සඳහා අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි නව නියාමන රෙගුලාසි ඇතුළත් විශේෂ ගැසට් නිවේදනයක් (Special Gazette) නිකුත් කර තිබේ.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව දැඩි රෙගුලාසි පනවා ඇත. ආනයන ක්ෂේත්‍රයේ විනිවිදභාවය ඉහළ නැංවීම, වංචනික ලෙස ඩොලර් පිටරටට ගලායාම (Capital Flight) වැළැක්වීම සහ මූල්‍ය දත්ත විධිමත් ලෙස නිරීක්ෂණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම නව රෙගුලාසි මාලාවට අනුව මින් ඉදිරියට ආනයන ගනුදෙනු සිදු කිරීමේදී සමස්ත ක්‍රියාවලියම දැඩි පරීක්ෂාවකට ලක්වන අතර එහි ප්‍රධාන වගකීම් සමූහයක් වාණිජ බැංකු වෙත පවරා ඇත,
විශේෂ ගනුදෙනු අංකය: ඕනෑම ආනයන ගනුදෙනුවක් සඳහා සිදු කරන සෑම විදේශ මුදල් ගෙවීමකටම අදාළ වාණිජ බැංකුව විසින් විශේෂිත ගනුදෙනු අංකයක් (Unique Transaction Number) ලබා දීම අනිවාර්ය වේ.
තොරතුරු රේගුවට පැවරීම: මෙම ගනුදෙනු සම්බන්ධ සියලුම රහස්‍ය තොරතුරු එසැණින් ශ්‍රී ලංකා රේගුව (Sri Lanka Customs) වෙත ලබා දීමට බැංකු කටයුතු කළ යුතුය.
මීට අමතරව ආනයනකරුගේ බදු හඳුනාගැනීමේ අංකය (TIN), ව්‍යාපාරික ලිපිනය, මුදල් ලබන්නාගේ (ප්‍රතිලාභියාගේ) තොරතුරු, බැංකු හා ශාඛා කේත, ගෙවන මුදල සහ මුදල් ඒකකය, ගෙවීම් සහ භාරදීමේ කොන්දේසි (Incoterms), ගෙවීම් සිදුකළ දිනය, Proforma Invoice අංකය සහ ආනයනය කරනු ලබන භාණ්ඩවල සවිස්තරාත්මක ලේඛනයක් බැංකු හරහා රේගුව වෙත ස්වයංක්‍රීයවම ගලා යා යුතුය.
මෙම ගැසට් නිවේදනයේ අඩංගු වඩාත්ම තීරණාත්මක රෙගුලාසිය වන්නේ භාණ්ඩ ආනයනය සඳහා පූර්ව අත්තිකාරම් ගෙවීම් (Advance Payments) සිදුකිරීමට අදාළව පනවා ඇති කොන්දේසියයි.
ඒ අනුව, මින් ඉදිරියට ඕනෑම භාණ්ඩයක් වෙනුවෙන් අත්තිකාරම් මුදල් පිටරටට යැවීමට පෙර, අදාළ ආනයනකරු ශ්‍රී ලංකා රේගුවේ නිල වශයෙන් ලියාපදිංචි වූ “සුදුසුකම් ලත් ආනයනකරුවෙකු” (Qualified Importer) බවට පත්ව සිටීම අනිවාර්ය වේ. එවැනි නිසි රේගු ලියාපදිංචියක් නොමැති කිසිදු ආනයනකරුවෙකු වෙනුවෙන් අත්තිකාරම් මුදල් නිදහස් කිරීමට ලංකාවේ කිසිදු වාණිජ බැංකුවකට අවසර නොලැබෙන බව නව රෙගුලාසිවල ඉතා පැහැදිලිව දක්වා ඇත.