නාවලපිටිය, තිස්පණේ හන්දිය ප්‍රදේශයේදී අද (05) උදෑසන සිදුවූ දරුණු රිය අනතුරකින් පාසල් දරුවන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ. කැටබුලාවේ සිට හරංගල දක්වා සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇත.
අද උදෑසන 7ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, වෑන් රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බව වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේදී රථය තුළ පාසල් දරුවන් පිරිසක් සිට ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ඔවුන් වහාම මුදාගෙන තිබේ.
තුවාල ලැබූ සිසුන් 13 දෙනා මේ වන විට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරට හේතුව වෑන් රථයේ කාර්මික දෝෂයක් ද නැතිනම් රියදුරුගේ නොසැලකිලිමත්කම ද යන්න පිළිබඳව නාවලපිටිය පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.