සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් බාහිර පාර්ශවයන්ගෙන් තෑගි බෝග ලබාගැනීම සහ මුදල් එකතු කර සාද පැවැත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පියවර ගෙන තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ විනිවිදභාවය සහ ගෞරවය ආරක්ෂා කරගැනීම අරමුණු කරගනිමින් මෙම විශේෂ උපදෙස් මාලාව නිකුත් කර ඇත.
පොලිස් ස්ථාන මට්ටමින් ව්‍යාපාරිකයින්ගේ දායකත්වය ලබාගනිමින් අවුරුදු උත්සව පැවැත්වීමට සූදානම් වන බවට ලැබුණු තොරතුරු මෙම දැඩි තීරණයට හේතු වී තිබේ.
තෑගි සහ හැම්පර්ස් තහනම: ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත සුබ පැතීම සඳහා ලබාදෙන හැම්පර්ස් (Hampers), තෑගි වවුචර් හෝ වෙනත් කිසිදු තුටුපඬුරක් පිරිනැමීම මෙන්ම භාරගැනීම ද සම්පූර්ණයෙන්ම තහනම් වේ.
බාහිර දායකත්වය: ව්‍යාපාරික ප්‍රජාවගේ හෝ බාහිර පුද්ගලයින්ගේ මුදල්මය දායකත්වයෙන් පොලිස් ස්ථාන තුළ අවුරුදු සාද පැවැත්වීම නොකළ යුතුය.
සංග්‍රහ සඳහා ප්‍රතිපාදන: පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කිරීම වෙනුවට, අවුරුදු සංග්‍රහ කටයුතු සඳහා එක් නිලධාරියෙකු වෙනුවෙන් රුපියල් 250 බැගින් වූ මුදලක් පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබාදීමට පොලිස්පතිවරයා අනුමැතිය දී ඇත.
මෙම නියෝග උල්ලංඝනය කරන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධීක්ෂණ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ අතර, සේවා අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් (OIC) 17 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි, දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිරවීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.
පොලිස් සේවයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම සඳහා ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය පිළිබඳව මහජනතාව ද දැනුවත් විය යුතු අතර, කිසිදු පොලිස් නිලධාරියෙකුට වංචනික ලෙස මුදල් හෝ තෑගි ලබාදීමෙන් වළකින ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.v