නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ආනයනය කර ඇති ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු භාවිත කිරීම හේතුවෙන් එහි ජනන යන්ත්‍රවලට බරපතළ හානි සිදුවීමේ අවදානමක් පවතින බව බලශක්ති විශේෂඥ ආචාර්ය විදුර රළපනාව මහතා අනතුරු අඟවයි. දැනට බලාගාරය තුළ පැරණි ගල්අඟුරු තොග පවතින බැවින් දකුණු අප්‍රිකාවෙන් ගෙනා මෙම නව ගල්අඟුරු දිනකට පැය කිහිපයක් පමණක් මිශ්‍ර කර භාවිත කරන බවත්, එළඹෙන මාර්තු මස 01 වනදා සිට බලාගාරය පූර්ණ වශයෙන් මෙම නව ගල්අඟුරු මත යැපීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.
බලාගාර ඉංජිනේරුවන් පවා මෙම තත්ත්වය පිළිබඳව දැඩි බියකින් පසුවන බව පවසන ආචාර්ය රළපනාව මහතා, බාල ගල්අඟුරු පැය 24 පුරා දහනය කිරීමේදී යන්ත්‍රවලට සිදුවන හානිය තක්සේරු කළ නොහැකි බව අවධාරණය කරයි. විශේෂයෙන්ම වර්ෂාව අඩු මෙම කාලසීමාව තුළ බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රිය වුවහොත් එය සමස්ත ජාතික විදුලි පද්ධතියටම එල්ල වන මරු පහරක් වනු ඇති බව ඔහුගේ මතයයි.
පවතින තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට බලධාරීන් අපොහොසත් වුවහොත්, විදුලි ක්ෂේත්‍රයේ සුරක්ෂිතභාවය බිඳ වැටී පිරිවැය ඉහළ යාම හරහා ජනතාවට දැරිය නොහැකි ලෙස විදුලි බිල වැඩි කිරීමට සිදුවනු ඇතැයි ද හෙතෙම අනාවැකි පළ කරයි. මේ සම්බන්ධයෙන් වහාම ඉංජිනේරුවන් සමඟ සාකච්ඡා කර විද්‍යාත්මක සහ නිවැරදි ක්‍රියාමාර්ගයකට එළඹෙන ලෙස ඔහු රජයෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.