මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය “සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම” (Complete and total resolution) වෙනුවෙන් ඉරානය සමඟ ඉතා සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. මෙම “ඵලදායී සාකච්ඡාවල” ප්‍රගතිය සැලකිල්ලට ගනිමින්, ඉරානය වෙත එල්ල කිරීමට නියමිතව තිබූ දැවැන්ත බලශක්ති ප්‍රහාරය තාවකාලිකව අත්හිටුවීමට ඔහු පියවර ගෙන තිබේ.
අද (23) රාත්‍රියෙන් අවසන් වීමට තිබූ පැය 48ක අවසාන නිවේදනය, මෙම නව රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත තවත් දින පහක කාලයකට කල් තැබීමට ජනාධිපතිවරයා නියෝග කර ඇත. ඉරාන බලාගාර සහ බලශක්ති පද්ධතිය ඉලක්ක කරගත් ප්‍රහාර මෙලෙස ප්‍රහේලිකාවක්ව පැවති මොහොතක, මෙම තීරණය ලෝක ප්‍රජාවගේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මෙම දින පහක සහන කාලය තුළ දෙරට අතර පවතින සතුරුකම් අවසන් කර කලාපීය සාමය ස්ථාපිත කිරීම සඳහා වන මූලික එකඟතාවන් කරා එළඹීමට අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ අන්‍යෝන්‍ය බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇත.
ඉරානය සමඟ පවතින මෙම නව සාකච්ඡාමය ප්‍රවේශය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි යම් ස්ථාවරත්වයක් ඇති වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. කෙසේ වෙතත්, මෙම දින පහ අවසානයේ එකඟතාවකට පැමිණීමට අපොහොසත් වුවහොත් තත්ත්වය යළිත් දරුණු විය හැකි බවට ද අනතුරු ඇඟවීම් පවතී.