මීගොඩ දන්සල් අනතුර කර සැඟව සිටි කැබ් රථ හිමිකරු පොලිසියට භාර වූ හැටි

මීගොඩ ප්‍රදේශයේ දන්සල් පෝලිමක සිටි පිරිසක් යටකරමින් පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳවූ බිහිසුණු රිය අනතුරෙන් පසු පලාගොස් සැඟව සිටි කැබ් රථයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු

මිතුරන් සමග බෙදාගන්න

මීගොඩ ප්‍රදේශයේ දන්සල් පෝලිමක සිටි පිරිසක් යටකරමින් පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳවූ බිහිසුණු රිය අනතුරෙන් පසු පලාගොස් සැඟව සිටි කැබ් රථයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු එළඹෙන ජුනි 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

අනතුර සිදුවූ දින සිට දින 6ක් පුරා පොලිසිය මඟහරිමින් සැඟව සිටි මොවුන් දෙදෙනා, ඊයේ (05) පොලිසිය විසින් ඔවුන්ගේ ඡායාරූප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීමෙන් පසු අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මීගොඩ පොලිසියට භාර වී තිබේ. මෙලෙස රිමාන්ඩ් කෙරුණේ කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු වන පිළියන්දල පදිංචි අත්තනායකගේ දොන් වසන්ත සහ සෙල්ලමුත්තු සෙල්ලකුමාර් නැමැති සැකකරුවන්ය.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් හෙළි කර ඇත්තේ, වෙසක් පොහෝදා (මැයි 31) කැබ් රථයේ සිටි පිරිසම මත්පැන් පානය කර නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවූ බවයි. අනතුරෙන් පසු ගොඩගමදී රථයෙන් බැස පලාගිය මොවුන්, සිය පවුල්වල සාමාජිකයන් ද ඥාති නිවාසවලට පිටත් කර හැර වහාම බස් රථයකින් කතරගම බලා පලාගොස් තිබේ. එහි දේවාල භූමියේ දිනක් සැඟව සිට පසුව නීතිඥයෙකු හමුවීමට කොළඹට පැමිණ ඇති අතර, එය ව්‍යර්ථ වීම නිසා නුවරඑළිය ප්‍රදේශයේ නවාතැන්පොළක ද, පසුව කොළඹ ලැගුම්හලක ද සැඟව සිටි බව ඔවුන් පාපොච්චාරණය කර ඇත.

අධික ලෙස බීමත්ව බලපත්‍රයක් ද නොමැතිව රථය පදවා අනතුර සිදුකළ 42 හැවිරිදි ප්‍රධාන සැකකාර රියදුරු අනතුර සිදු වූ දිනම ගොඩගමදී අත්අඩංගුවට පත් වූ අතර ඔහු ද මේ වන විට ජුනි 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. කෙසේ වෙතත්, අනතුර සිදුවන අවස්ථාවේ රථය තුළ සිටි දොන් සරත් හෙට්ටිගේ නැමැති අනෙක් සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහුව සොයා මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්