අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටි චීන ජාතිකයින් 125 දෙනෙකු මෙරටින් පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. චීන රජය සමඟ පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව, එරටින් එවන ලද විශේෂ ගුවන් යානයක් මගින් ඊයේ රාත්‍රියේ මෙම පිරිස පිටත් කර හැර ඇත.
මෙම පිරිස පසුගිය 17 වනදා අනුරාධපුර ප්‍රදේශයේ ලැගුම්හල් කිහිපයක රැඳී සිටියදී යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගැනුණි. ඔවුන් සංචාරක සහ ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණ, වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස රැඳී සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය විය.
අත්අඩංගුවට ගැනීමෙන් පසු වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි මෙම චීන ජාතිකයින් රැගෙන යාම සඳහා චීන ආගමන විගමන නිලධාරීන් කණ්ඩායමක් සහ වෛද්‍යවරයෙකු ද විශේෂ යානයෙන් මෙරටට පැමිණ තිබේ.
මෙම කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද චීනය බලා පිටත්ව ගොස් ඇත. මෙලෙස පිටුවහල් කරන ලද පිරිසට එරෙහිව චීන නීතිය යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම සිදුවීමත් සමඟ සංචාරක වීසා මත මෙරටට පැමිණ විවිධ ජාවාරම්වල නිරත වන විදේශිකයන් පිළිබඳව ආරක්ෂක අංශ සිය විමර්ශන දැඩි කර තිබේ. විශේෂයෙන්ම අන්තර්ජාලය ආශ්‍රිත මූල්‍ය වංචා (Online Financial Scams) මැඩලීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව බලධාරීහු පවසති.