යෝෂිත රාජපක්ෂගේ නඩුව ජූලි 9ට කල්තැබෙයි

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (Prevention of Money Laundering Act) යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන මහාධිකරණ නඩුව එළඹෙන

මිතුරන් සමග බෙදාගන්න

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත (Prevention of Money Laundering Act) යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබෙන මහාධිකරණ නඩුව එළඹෙන ජූලි මස 09 වනදා දක්වා නැවත කල්තැබීමට කොළඹ මහාධිකරණය අද (04) නියෝග කළේය.

මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය.

නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සුවිශේෂී කරුණක් අධිකරණයට ප්‍රකාශ කළේය. මෙම නඩුවේ විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් (Revision Petition) ඊයේ (03) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ බව ඔහු එහිදී සඳහන් කළේය.

එම පෙත්සම එළඹෙන ජූනි මස 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇති බැවින්, එදින තෙක් මෙම මහාධිකරණ නඩුවේ සාක්ෂි මෙහෙයවීමක් (Led Evidence) සිදු නොකරන බවට පැමිණිල්ල විසින් අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් දී ඇති බව නියෝජ්‍ය පොලිසිටර් ජෙනරාල්වරයා පැවසීය. ඒ අනුව, අභියාචනාධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් සාක්ෂි කැඳවීමකින් තොරව නඩුව කල්තබන ලෙස ඔහු මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුව ජූලි 09 වනදා දක්වා කල්තැබීමටත්, එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නඩුවේ සාක්ෂිකරුවන්ට නියෝග කිරීමටත් පියවර ගත්තේය.

නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයතා සහ නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙනි.

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි කළු සල්ලි (Black Money) භාවිත කරමින් මෙම දේපළ මිලදී ගැනීම හරහා විත්තිකරු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල අපරාධමය වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් චෝදනා පත්‍රයේ දක්වා තිබේ.

වෙනත් පුවත්

උණුසුම් පුවත්