රටේ අවශ්‍යතාවයට වඩා 10%ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර අවසන්

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අවශ්‍යතාවයට වඩා 10%ක අමතර ප්‍රමාණයක් මේ වන විටත් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස ඉන්ධන

මිතුරන් සමග බෙදාගන්න

ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන අවශ්‍යතාවයට වඩා 10%ක අමතර ප්‍රමාණයක් මේ වන විටත් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. පාරිභෝගිකයන් අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස් කිරීමට පෙළඹෙන්නේ නැතිනම්, රට තුළ කිසිදු හිඟයකින් තොරව ඉන්ධන සැපයිය හැකි බව සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා අවධාරණය කළේය.

‘දෙරණ බිග්ෆෝකස්’ වැඩසටහන සමඟ අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, මැයි මාසයේ මැද භාගය දක්වා මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග දැනටමත් පවතින බවයි. QR කේත ක්‍රමය ක්‍රියාත්මක වන බැවින් මාසික පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණය නිසි පරිදි කළමනාකරණය වන බවත්, සැපයුම පිළිබඳ අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය දිනවල ඩීසල් පරිභෝජන වේගය සාමාන්‍ය මට්ටමට වඩා 150%කින් පමණ ඉහළ ගොස් ඇති බව කළමනාකාර අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. මෙහිදී මතුව ඇති ප්‍රධාන ගැටලුව ඉන්ධන හිඟකම නොව, ඇතැම් පාරිභෝගිකයන් සහ ආයතන අනාගත ප්‍රයෝජනය සඳහා විශාල වශයෙන් ඉන්ධන තොග රැස් කිරීම බව ඔහු අනාවරණය කළේය.

“සාමාන්‍යයෙන් බවුසර් 3ක් ගන්නා ඇතැම් අය මාස 6කට සෑහෙන ලෙස බවුසර් 18ක් එකවර ඉල්ලා තිබෙනවා. මෙලෙස එක් පිරිසක් විශාල ලෙස ගබඩා කරගත් විට, දිනපතා ඉන්ධන ලබාගන්නා සාමාන්‍ය ජනතාවට දිනක් දෙකක් ඉන්ධන නොමැති වීමේ තත්ත්වයක් ඇති විය හැකියි,” යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

පාරිභෝගිකයන් සිය සාමාන්‍ය පරිභෝජන රටාව පවත්වාගෙන යන්නේ නම් කිසිදු ගැටලුවක් පැන නොනගින බවත්, ශ්‍රී ලංකාව සතු සංචිත අනුව ඉන්ධන අවසන් වීමේ අවදානමක් නොමැති බවත් සංස්ථාව සහතික කරයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්