ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී නාවික හමුදාව දියත් කළ විශේෂ මෙහෙයුමකදී රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (16) සිදුකළ මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය පටවා තිබූ උර 6ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු නිලධාරී භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙම යාත්‍රාව තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් අඩංගු බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා එක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශීය නෞකාවක සිට ධීවර යාත්‍රාවට ලබා දී ඇති බවයි.
“අප සතුව ඇති තොරතුරු අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය විදේශීය නෞකාවකින් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ පිළිබඳව අපි ජාත්‍යන්තර මට්ටමින් විමර්ශන පවත්වනවා. මෙහි වීදි වටිනාකම කෝටි 400කට වඩා වැඩියි, සමහරවිට ඊටත් වඩා වැඩි අගයක් ගනීවි,” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
යාත්‍රාවේ සිටි සැකකරුවන් සිව්දෙනා ගොඩබිමට රැගෙන ඒමෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් නිල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් මඟින් මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැපයුම්කරුවන් සහ දේශීය නියෝජිතයින් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට විමර්ශන කණ්ඩායම් කටයුතු කරමින් සිටී.
ගැඹුරු මුහුද හරහා මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ උත්සාහයන් වැළැක්වීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එක්ව මුහුදු සීමාව පුරා සිය නිරීක්ෂණ කටයුතු දැඩි කර ඇත. උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙවැනි මත්ද්‍රව්‍ය තොග දිවයිනට ගෙන ඒමට ජාවාරම්කරුවන් උත්සාහ දරන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.