වසර 53කට පසු සඳ වෙත යන Artemis II මෙහෙයුම ඇරඹෙයි

මිනිසා අවසන් වරට සඳ මත පා තැබීමෙන් දශක පහකට වැඩි කාලයකට පසු, ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් Artemis II යානය සිය ඓතිහාසික චන්ද්‍ර ගවේෂණ චාරිකාව සාර්ථකව ආරම්භ

මිතුරන් සමග බෙදාගන්න

මිනිසා අවසන් වරට සඳ මත පා තැබීමෙන් දශක පහකට වැඩි කාලයකට පසු, ගගනගාමීන් සිව්දෙනෙකු රැගත් Artemis II යානය සිය ඓතිහාසික චන්ද්‍ර ගවේෂණ චාරිකාව සාර්ථකව ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් අද (02) අලුයම 4.00 ට පමණ ෆ්ලෝරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් මෙම යානය අභ්‍යාවකාශ ගත විය.

මෙම සුවිශේෂී මෙහෙයුම සැලකෙන්නේ වසර 53කට පසුව මිනිසුන් පිරිසක් චන්ද්‍රයා ආසන්නයටම ගමන් කරන පළමු අවස්ථාව ලෙසයි. දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම ගවේෂණයේදී යානය සඳ වටා ගමන් කර නැවත පෘථිවිය බලා පැමිණීමට නියමිතය.

Artemis II මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වන අභ්‍යාවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පෙන්වා දෙන්නේ, මෙහි මූලිකම ඉලක්කය වන්නේ ඉදිරියේදී චන්ද්‍රයා මත මිනිස් ජනාවාසයක් පිහිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික පදනම සකස් කිරීම බවයි.

මෙම චාරිකාව පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්:

ගොඩබැසීමක් සිදු නොවේ: මෙම මෙහෙයුමේදී යානය සඳ මත ගොඩබැසීමක් හෝ සඳ වටා කක්ෂගත වීමක් සිදු නොකරයි.

ගමන් මාර්ගය: යානය සඳ වටා ගොස් පෘථිවියට පැමිණෙන “නිදහස් නැවත පැමිණීමේ” (Free-return trajectory) ගමන් මඟක් අනුගමනය කරනු ඇත.

අනාගත සැලසුම්: මෙය ඉදිරියේදී මිනිසුන් සඳ මත ගොඩබැස්වීමට නියමිත Artemis III මෙහෙයුම සඳහා වන පෙරහුරුවකි.

මිනිසා සඳ මත පා තැබූ ඇපලෝ (Apollo) යුගයෙන් පසුව, වඩාත් නවීන තාක්ෂණයෙන් යුතුව අභ්‍යාවකාශ ගවේෂණයට පිවිසීමේ තීරණාත්මක පියවරක් ලෙස Artemis II සැලකේ. මෙම මෙහෙයුම සාර්ථක වීම හරහා අඟහරු ලෝකය දක්වා මිනිසුන් යැවීමේ මූලික සැලසුම් ද වඩාත් ශක්තිමත් වනු ඇතැයි විද්‍යාඥයෝ අපේක්ෂා කරති.

වෙනත් පුවත්

උණුසුම් පුවත්