ශ්‍රී ලාංකේය නිරූපණ කලාවට අන්තර්ජාතික කීර්තියක් එක් කළ, ජාතික අධ්‍යක්ෂක චරිත් ගුණසේකර මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන Miss Teen Sri Lanka 2025 තරගාවලිය අද (ජූනි 22) එහි අවසන් මහා තරගය සඳහා සූදානම් වෙයි. මීගමුව, Avenra Gardens Hotel පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත මෙම අවසන් මහා තරගය, මෙවර කිරුළ හිමි කර ගන්නා තරුණිය කවුදැයි දැන ගැනීමට බොහෝ දෙනෙකු නොඉවසිල්ලෙන් බලා සිටී.
Miss Teen Sri Lanka 2025 ජයග්‍රාහිකාවට රුපියල් මිලියන තුනක් වටිනා අති විශිෂ්ට රන් ඔටුන්නක් හිමිවන අතර, ඊට අමතරව තවත් වටිනා ත්‍යාග රැසක් පිරිනැමීමට නියමිතයි. මෙය, ශ්‍රී ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයේ තරුණ දක්ෂතාවන්ට ලැබෙන විශාලතම ඇගයීම්වලින් එකක් ලෙස සලකනු ලැබේ.
මෙවර Miss Teen Sri Lanka තරගාවලිය පෙර වසරවලට වඩා වැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වූයේ, විවිධ වූ දක්ෂතාවලින් හෙබි තරගකාරියන් විශාල සංඛ්‍යාවක් මෙයට සහභාගී වීම හේතුවෙනි. පසුගිය ජූනි 1 වැනිදා ගම්පහ, Wet Water Hotel පරිශ්‍රයේදී පැවති Talent Round අංශය මෙවර තරගාවලියේ වඩාත්ම ආකර්ෂණීය අංශය බවට පත් විය.
ගායනය, නර්තනය, රංගනය වැනි කලා හැකියාවන් මෙන්ම අංගම්පොර වැනි සටන් කලාවන්ද ප්‍රගුණ කළ තරගකාරියන් 32 දෙනෙකු Talent Round සඳහා ඉදිරිපත් වීම, ශ්‍රී ලාංකේය නිරූපණ තරගාවලියක ඉතිහාසයේ වැඩිම තරගකාරියන් පිරිසක් සහභාගී වූ අවස්ථාව ලෙස වාර්තා විය. ඔවුන් තම අනන්‍ය දක්ෂතා විනිසුරු මඬුල්ල ඉදිරියේ විශිෂ්ට ලෙස ප්‍රදර්ශනය කළහ.
ශ්‍රී ලංකාවට අන්තර්ජාතික නිරූපණ ජයග්‍රහණ රැසක් ලබා දුන් ජාතික අධ්‍යක්ෂක චරිත් ගුණසේකර මහතා, 2021 වසරේදී Miss Teen Sri Lanka සංකල්පය මෙරටට හඳුන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරය තුළ රනින් සනිටුහන් කිරීමේ අරමුණ ඇතිවය. ඔහුගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකාව 2023 වසරේදී Miss Teen ජාත්‍යන්තර කිරුළ දිනා ගැනීමට සමත් වූ අතර, 2024 Miss Teen අන්තර්ජාතික තරගාවලියේදී Best In Talent සම්මානයද ශ්‍රී ලංකාවට හිමි විය.
මැයි 11 වන දින Waters Edge හෝටල් පරිශ්‍රයේදී පැවති අවසන් සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව, අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ සියලුම තරගකාරියන්, මෙරට නිරූපණ ක්ෂේත්‍රයට පෑයූ නව තාරකාවන් ලෙස හඳුන්වා දිය හැකිය. Miss Teen Sri Lanka තරගාවලියෙන් ලැබූ අත්දැකීම් සහ පුහුණුව ඔස්සේ, ඔවුන් අනාගතයේදී ශ්‍රී ලංකාවේ කීර්තිය අන්තර්ජාතික වශයෙන් තව තවත් ඔප්නැංවීමට සමත් වනු නොඅනුමානය.
අද දින පැවැත්වෙන අවසන් මහා තරගය, ශ්‍රී ලංකාවේ තරුණ දක්ෂතාවන් ජාත්‍යන්තරයට රැගෙන යන තවත් එක් වැදගත් පියවරක් වනු ඇත.