රජය විසින් සහල් ආනයනය කිරීමට ගත් තීරණය හේතුවෙන් දේශීය වී කිලෝවක් සඳහා ගොවියාට ලැබෙන සහතික මිල දරුණු ලෙස පහත වැටී ඇති බව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසයි. රජයේ මෙම තීරණය පිළිබඳව තමන් දැඩි සේ කනගාටු වන බව ඔහු අවධාරණය කළේය.
ඩඩ්ලි සිරිසේන මහතා පෙන්වා දෙන්නේ රජය නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා රුපියල් 125කටත්, කීරි සම්බා රුපියල් 130කටත් මිල නියම කර තිබුණ ද, වගාවේ පවතින ස්වභාවය අනුව එම මිල ගණන් ප්‍රමාණවත් නොවන බවයි. නාඩු වීවලට සාපේක්ෂව සම්බා සහ කීරි සම්බා වර්ගවල අස්වැන්න සහ බර උපතින්ම අඩු බැවින්, ලැබෙන මිල මදිවීම නිසා ගොවියන් එම වගාවන් අත්හැර නාඩු වගාවට පමණක් යොමුවීමේ අවදානමක් මතුව ඇත. මේ හේතුවෙන් වෙළෙඳපොළේ නාඩු මිල ශීඝ්‍රයෙන් පහත වැටී, අනෙක් සහල් වර්ග හිඟ වී මිල ඉහළ යන බව ඔහු පවසයි.
රට තුළට සහල් ටොන් එක්ලක්ෂ පනස් හත්දහසක් (157,000) ආනයනය කිරීම හේතුවෙන් ස්ථාවරව රුපියල් 125-130 සීමාවේ තිබිය යුතු වී කිලෝවක මිල මේ වන විට රුපියල් 90-100 දක්වා බිඳ වැටී ඇති බව ද සිරිසේන මහතා හෙළි කළේය. ඇතැම් ගොවියන් මේ පිළිබඳව මෝල් හිමියන්ට චෝදනා කළ ද, මෙය තමන්ට පාලනය කළ නොහැකි, පාලකයන් විසින්ම විසඳිය යුතු ප්‍රතිපත්තිමය ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“වීවලට සහතික මිලක් දීලා තියෙනවා. ඒකේ ඇත්තම කතාව නාඩුවලට රුපියල් 120යි. සම්බාවලට රුපියල් 125යි. කීරි සම්බාවලට රුපියල් 130යි. ඉතින් මෙව්වා හදද්දි මේ හදන පුද්ගලයෝ දැනගන්න ඕනේ නාඩුවලට වැඩිය උපතින්ම බරත් අඩුයි ආදායමත් අඩුයි සම්බාවල. නාඩු සම්බාවලට වැඩිය උපතින්ම බරත් අඩුයි. ආදායමත් අඩු කීරි සම්බාවල.
ඒක නිසා මිනිස්සු ගොවියන් විසින් නිතරම කීරි සම්බා වගාවත්, සම්බා වගාවත් අතහැරලා. ඒකට තියෙන දීලා තියෙන මිල ගණන් මදි නිසා, නාඩු විතරක්ම වැඩ කරනවා.
ඒ තුළින් වෙන්නේ, මේ ලැබෙන ආදායම සමබර වෙන්නේ නැතිව නාඩු විතරක් වැඩි වුණාම, නාඩු මිල බිමටම වැටෙනවා. අරවා හිඟ නිසා, එව්වා උපරිම මිලකට යනවා. මේක තමයි මේ වෙන කාර්යය.
ඉතින් මේක අපි වෙළඳාමක් කරන්නේ තියෙන දෙයක් අරන් කොටලා දෙනවා මිසක් අපිට මෙව්වා මේ පාලනය කරන්න මේ දේ කරන්න මේ විදිහ කරන්න කියලා එහෙම කරන්න අයිතියක් නෑ.
ඉතින් ඒක පාලකයන් විසින් විසඳිය යුතු ගැටළුවක් වී ප්‍රශ්නයක් ඉස්සරහට එයිද මේ යන විදිහට වී ප්‍රශ්නයක් කියන්නේ වී විකුණගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉතින් අපේ රටිනුත් ටොන් එක්ලක්ෂ පනස් හත්දාහක් ගෙනල්ලා දැම්මානේ මේ චෝදනා මං දැක්කා ඉඳලා හිටලා සමහර ගොවියෝ අපේ ඇඟටත් දානවා.
නමුත් අපි අද රටින් හාල් ගෙනාපු ප්‍රශ්නේ තිබ්බේ නැත්නම් ඔය ගොවියන්ට ඔය මිල කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්ථිරවම කිලෝව රුපියල් 125කට, 130කට විකුණගන්න තිබ්බ එක තමයි රුපියල් 90, 100 වැටිලා තියෙන්නේ. බොහෝම කනගාටුයි ඒ ගැන. මටත් කියන්න තියෙන්නේ එච්චර තමයි.”