පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක මෙන්ම උද්වේගකර ගැටුමක් අද (16) පස්වරුවේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම එකිනෙකා හමුවේ තරග වදියි.
තරගය අද පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.
මෙම තරගය දෙපිලටම එකසේ වැදගත් වන්නේ තරගාවලියේ ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධකයක් වන බැවිනි.
තරගාවලියේ “සුපිරි 8” (Super 8) වටය සඳහා සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුව තවදුරටත් රඳවා ගැනීමට නම් කණ්ඩායම් දෙකටම මෙම ජයග්‍රහණය අතිශය තීරණාත්මක වේ.
මව්බිමේදී පැවැත්වෙන මෙම තරගයේදී පල්ලෙකැලේ තණතීරුවේ ස්වභාවය සහ දේශීය ප්‍රේක්ෂක සහාය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටියි.
ප්‍රබල ඔස්ට්‍රේලියානු පිතිකරණ බලඇණිය හමුවේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දක්වන දක්ෂතාව මෙම තරගයේ තීරණය කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි විචාරකයෝ මත පළ කරති. කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට නම් මෙම “බිග් මැච්” එක ජය ගැනීම ශ්‍රී ලංකාවට අනිවාර්ය වී තිබේ.