හෙට, එනම් අප්‍රේල් මස 01 වනදා දිවයින පුරා පිහිටි පිරවුම්හල් මගින් ඔත්තේ සහ ඉරට්ටේ යන කාණ්ඩ දෙකටම අයත් සියලුම වාහන සඳහා ඉන්ධන ලබාදීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන අංක තහඩුවේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය හෙට දිනයේදී ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ අනුව, ඕනෑම අංකයක් සහිත වාහන හිමියන්ට හෙට දිනයේදී බාධාවකින් තොරව ඉන්ධන ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
මෙම විශේෂ තීරණය ගැනීමට හේතුවී ඇත්තේ අද (මාර්තු 31) සහ හෙට (අප්‍රේල් 01) යන දින දෙකම දින දර්ශනයට අනුව ‘ඔත්තේ’ දින ලෙස යෙදී තිබීමයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේ, අඛණ්ඩව ඔත්තේ දින දෙකක් යෙදීම නිසා ඉරට්ටේ අංක සහිත වාහන හිමියන්ට සිදුවන අපහසුව මඟහරවා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.
මෙම සහනය හෙට දිනයට පමණක් සීමා වන අතර, ඉන් අනතුරුව පවතින සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරේ. ඉන්ධන පිරවුම්හල් අසල අනවශ්‍ය තදබදයක් ඇතිවීම වළක්වා ගැනීමට සහය වන ලෙස ද සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.