හොරණ ඛේදවාචකයෙ හඳුනාගත් සිරුරු 7ක පශ්චාත් මරණ පරීක්ෂණ නිමයි

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ හටගත් දරුණු ගිනි අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 13 දෙනාගේ දේහයන් පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු සහ වෛද්‍ය

මිතුරන් සමග බෙදාගන්න

හොරණ, බටගොඩ ප්‍රදේශයේ පිහිටි “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි නිවාසයේ හටගත් දරුණු ගිනි අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් 13 දෙනාගේ දේහයන් පිළිබඳ ඉදිරි නීතිමය කටයුතු සහ වෛද්‍ය පරීක්ෂණ අද (06) දින සිදු කෙරිණි.

ඒ අනුව, මියගිය පිරිස අතරින් මේ වන විට ඥාතීන් විසින් නිල වශයෙන් හඳුනාගෙන ඇති මළ සිරුරු 07ක පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දහවල් හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී පවත්වා තිබේ.

මෙම විශේෂ පශ්චාත් මරණ පරීක්ෂණ ක්‍රියාවලිය හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) සඳකැන් වඩුගේ මහතාගේ සෘජු ප්‍රධානත්වයෙන් සහ වෛද්‍ය කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලැබීය.

ගින්නෙන් සිදුවූ දරුණු පිළිස්සීම් සහ දුම් ආඝ්‍රාණය වීම මරණවලට සෘජුවම බලපා ඇති ආකාරය පිළිබඳව මෙහිදී විද්‍යාත්මක සාක්ෂි සටහන් කරගෙන තිබේ. පරීක්ෂණ කටයුතු නිමවීමෙන් අනතුරුව එම සිරුරු 07 කඩිනමින් අවසන් කටයුතු සඳහා ඥාතීන් වෙත භාර දීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, මෙම බිහිසුණු ගින්නට හසුවීම නිසා දැඩි ලෙස විකෘති වී ඇති, මෙතෙක් කවුරුන්දැයි නිශ්චිතවම හඳුනා ගැනීමට නොහැකි වූ ඉතිරි මළ සිරුරු 06 දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ නාගොඩ, ගල්ලස්හේන ප්‍රදේශයේ පිහිටි ළමා හා මාතෘ රෝහලේ විශේෂ මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට පොලිසිය ක්‍රියා කළේය.

මෙම සිරුරු ඉදිරියේදී DNA පරීක්ෂණ හෝ විද්‍යාත්මක වෛද්‍ය ක්‍රමවේද ඔස්සේ හඳුනා ගැනීමට නියමිත අතර, එතෙක් ඒවා විශේෂිත ශීතාගාර පහසුකම් යටතේ සුරක්ෂිතව තැබීමට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය සහ අපරාධ විමර්ශන අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වෙනත් පුවත්

උණුසුම් පුවත්