හොරණ, අඟුරුවාතොට ප්‍රදේශයේ පුද්ගලයන් 12 දෙනෙකුට ජීවිත අහිමි කළ “සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි හා ආබාධ සහිත පුද්ගලයන්ගේ රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය අනුමැතියකින් හෝ අවසරයකින් තොරව පවත්වාගෙන ගිය සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී ආයතනයක් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා නිල වශයෙන් අනාවරණය කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙවැනි අනාරක්ෂිත ස්ථාන පවත්වාගෙන යාම හරහා මෙවැනි මහා විපත්වලට මඟ පෑදෙන බවයි.
ලංකාවේ පවතින නීතිමය තත්ත්වය පැහැදිලි කරමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේ, 2000 අංක 9 දරණ වැඩිහිටි තැනැත්තන්ගේ හිමිකම් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් වයෝවෘද්ධ පුද්ගලයන් පස්දෙනෙකුට (05) වඩා වැඩි පිරිසක් රඳවා තබා ගන්නේ නම්, ඒ සඳහා අනිවාර්ය රාජ්‍ය අවසරයක් තිබිය යුතු බවයි.
ඒ අනුව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලයේ” නිසි පරිදි ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වේ. එලෙස ලියාපදිංචි නොවී පවත්වාගෙන යන සියලුම මධ්‍යස්ථාන නීතිය ඉදිරියේ දඬුවම් ලැබිය හැකි නීතිවිරෝධී ස්ථාන බව අමාත්‍යවරයා පැවසීය.
මෙම අනතුර සම්බන්ධයෙන් මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමාජ සේවා නිලධාරීන් සහ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරී කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පුළුල් පරිපාලනමය විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
මහා ගින්නෙන් ප්‍රාතිහාර්යමය ලෙස ජීවිත ආරක්ෂා කරගත් නේවාසිකයන් වෙනුවෙන් වහාම විකල්ප සුභසාධන සහ ආරක්ෂිත වැඩපිළිවෙලක් අමාත්‍යාංශය මැදිහත් වී ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව දිවි බේරාගත් පිරිස අතරින් කිහිපදෙනෙකු ඔවුන්ගේ නිල භාරකරුවන් සහ ඥාතීන් වෙත ආරක්ෂිතව භාර දීමට පියවර ගෙන ඇත.
ඉතිරි පිරිස වෙනුවෙන් රජයේ රැකවරණය සලසා ඇති ආකාරය අමාත්‍යවරයා මෙසේ පැහැදිලි කළේය,
වයස අවුරුදු 60ට වැඩි වයෝවෘද්ධ පුද්ගලයන් 08 දෙනෙකු රජය සෘජුවම පාලනය කරනු ලබන කතරගම පිහිටි “සිල්වර් ඒජ්” (Silver Age) මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
වැඩිහිටි ගණයට අයත් නොවන, එහෙත් එම ස්ථානයේ රැඳී සිටි විශේෂ අවශ්‍යතා සහ ආබාධ සහිත පුද්ගලයන් 39 දෙනෙකු රජය යටතේ ක්‍රියාත්මක වන ආබාධ සහිත පුද්ගලයන් රැකවරණය ලබන විශේෂිත රැඳවුම් මධ්‍යස්ථාන වෙත ආරක්ෂිතව මාරු කර යවා තිබේ.