Travel කරන්න කවුද අකමැති, ලෝකෙ පුරා සිටින විවිධ සංචාරකයින් අපි දකිනවා සහ අහලා තිබෙනවා. Ninenews අපිට මුණගැසුනා ලෝකය පුරා සංචාරකයින් සංචාරය නොකරන ස්ථාන සොයා යමින් එම ස්ථාන ගවේෂණය කරමින් යන ශ්‍රී ලාංකිකයෙක්, ඔහු නමින් Rokhan Direkz. ඔහු සංචාරය කරපු රටවල් වල අත්දැකිම් සහ රසමුසු තැන් කතා කරන්න ඔහු අපිත් එක්ක එකතු උනා.
අපි මුලින්ම කතාව පටන් ගමු ඇයි මේ විදිහට සංචාරයට කැමැත්තක් ඇති වුණේ කියන තැනින්. මොන කාලේ වගේද ට්‍රැවල් කරන්න ආසාවක් හිතට ආවේ ? කෙනෙක් යන්න හිතන්නේවත් නැති දුෂ්කර තැන වලට ගිහින් සංචාරය කරන්න කොහොමද මේ කැමැත්ත හිතට ආවේ?
ඒක මම හිතන්නේ පොඩිකාලේ ඉදන් හිතේ තිබුන ආසාවක්. මේ ගොඩක් දේවල් පොඩිකාලේ ඉදන් ගොඩනැගුනේ කුතුහලය කියන වචනය මත. යම් දෙයක් ගැන දැන ගන්න තිබ්බ උවමනාව. ඇයි එහෙම වෙන්නේ? ඇයි ඒ විදිහට මිනිස්සු ජීවත් වෙන්නේ. ඇයි මේ පාට ඇඳුම් අදින්නේ? ඇයි ඇඟේ පාට ගා ගන්නේ? ඇයි කැලෑවල ජීවත් වෙන්නේ? මේ දේවල් ගැන තිබුණ කුතුහලය නිසයි මෙවැනි අභාෂයක් ලැබුණේ. මට තවමත් මතකයි ඒ කියවපු පොත්. ඒ වගේම අපට තිබුණා පාසැල් යන කාලේ විෂයක් සමාජ අධ්‍යනය කියලා. මම දන්නේ නැහැ ඒ විෂය දැනුත් තියෙනවද කියලා. ඒ විෂය යටතේ මම හිතන්නේ 5-6 පන්තිවලදී තිබුණා ලෝක ඉතිහාසය රුසියානු විප්ලවය, චීන විප්ලවය උතුරු කොරියාව ගැන යුරෝපයේ කාර්මික විප්ලවය මේ වගේ දේවල් ගැන. ඒවායේදී කියවෙන එක් එක් නගර ගැන විස්තර අහනකොට මට ආසාවක් ඇති වුණා ඒ නගර කොහෙද තියෙන්නේ කියලා බලන්න. ඒ කාලේ වෙද්දී අපට අන්තර්ජාලයවත්, රූපවාහිනියවත් කිසිදෙයක් තිබ්බේ නැහැ. අපි ලෝකය දැක්කේ ගෙදරට එන පත්තරේ ඒ වගේම කියවන පොත්පත් වලින් විතරයි. ඒකාලේ මට මතකයි අපේ ගෙදර තිබුණා National Geography නමින් තිබුන සඟරා. ඒවා පෙරළලා බලනකොට හැමදාම ඔලුවට ආවේ ඒ කුතුහලය. එතකොට හිතුනා කවදාහරි දවසක මේවා බලන්න යන්න පුළුවන් නේද කියලා. අන්න ඒ හැඟීමෙන් තමයි මන් හිතන්නේ මේ සංචාරය කියන අදහස ජිවිතයට එකතු වුණේ.
දැනට වසර කීයක් වෙනවද ඔබ සංචාරය කරන්න අරන් ලෝකේ පුරා?
මෙහෙමයි, මම සංචාරය කරපු රටවල් බලනකොට ගොඩක්, ඒ කියන්නේ 75% -80% විතර රටවල මම සංචාරය කරේ පහුගිය වසර 10 ඇතුලත. ඊට පෙර මම කරපු සංචාර සාමාන්‍ය ආසාව මත ගියපු ගමන් වගේ. නමුත් මේ අවසන් වසර 10දී මම කරපු සංචාර ඇත්තටම සංචාරය කියන වචනයට වඩා පොඩ්ඩක් ගවේෂණය කියන වචනයත් එකතු කරා නම් හොඳයි කියලා හිතෙනවා. යම් දෙයක් ගැන දැන ගැනීමේ පරමාර්ථයෙන්ම ගිය සංචාර තමයි ඒවා.
දැනට ඔබතුමා රටවල් කීයක සංචාරය කරලා තියෙනවද?
දැනට මගේ මතකයේ හැටියට රටවල් 89ක සංචාරය කරලා තියෙනවා.
ඒ අතරින් අමතක නොවනම රටවල් කිහිපයක් තියෙනවද? ඒ මොනවද කියලා අපිට කියන්න පුලුවන්ද?
මෙහෙමයි. අමතක නොවන, ඒ තරමට හිතේ ඇඳුන රටවල් නම් කිහිපයක් තිබෙනවා. නමුත් මට මෙතැනදී ඇත්තටම කියන්න පුළුවන් මොකද මම සාමාන්යෙන් රටකට යාමට ඉස්සර ඒ රට ගැන අන්තර්ජාලයෙන් සොයා බලලා, පුවත්පත්වල ලිපි, පොත්පත් ආදිය කියවලා උත්සහ කරනවා කිසියම් අධ්‍යනයක් ලබා ගන්න. ඒ කියන්නේ ඒ රට ගැන දැන ගන්නවා යන්න කලින්. නමුත් එක් රටකට යනකොට මම කියවපු දැන ගත්ත දේවල් වලට හාත්පසින්ම වෙනස් විරුද්ධ දෙයක් දැකපු රටක් තියෙනවා. ඒ රට තමයි රුවන්ඩාව. මම එහි යන්න කලින් අධ්‍යනය කරපු, මිනිස්සු එක්ක කතා කරපු දේවල් ඒ රටට ගිය මිනිස්සුන්ගේ එක්ක පවා කතා කරද්දී මට තේරුනේ රුවන්ඩාව කියන්නේ අප්‍රිකාවේ තියෙන අනික් රටවල් හා සමාන දුප්පත්, ප්‍රශ්න තියෙන, ජාතිවාදී ගැටළු තියෙන යුද්ධ නැත්නම් කැරලි කෝලහාල තියෙන රටක් කියලා. නමුත් ඒ සියල්ල වෙනස් කරමින් ඒ රටට ගියාට පසු මට අත්විදින්න ලැබුනේ හාත්පසින්ම වෙනස් පරිසරයක්. රුවන්ඩාව වටේ ඇති සියලු රටවල පවතින්නේ බොහොම බිහිසුණු තත්වයක්. ඒ කියන්නේ ජන වාර්ගික ප්‍රශ්න, යුද්ධ, සිවිල් නොසන්සුන්තා. ඒ සියලු දේවල් රට වටේටම තියෙනවා. කොංගෝව, බුරුන්ඩි, උගන්ඩාව, ටැන්සානියා ඔය හැම රටකම ප්‍රශ්න. එතකොට ඒ රටවල දේශසීමා හිමිකරගෙන නමුත් රුවන්ඩාව ඇතුලේ ඉතාමත්ම සාමකාමී ව එවගේම දියුණුවට මිත්‍රශීලී ජනතාවක් ජීවත් වෙනවා.
මට ඇත්තටම හිතාගන්න බැහැ කොහොමද ඒගොල්ලො ඒ දේ කරන්නේ කියලා. එතකොට අන්න ඒක තමයි මම දැකපු රටවල් වලින්, අපිට ඔස්ට්‍රේලියාව ගැන කතා කරන්න පුළුවන් නවසීලන්තේ ගැන කතා කරන්න පුළුවන් ඒවත් දියුණු රටවල්. නමුත් අප්‍රිකාවේ තියෙන තත්වය අනුව එවැනි මට්ටමකින් ඒ රට පවත්වාගෙන යාම ගැන ඇත්තටම ඉතාම පුදුමයි. මේ නිසා රුවන්ඩාව කියන රට ගැන මගේ හිතේ ලොකුවට ඇඳුනා. මොකද ලෝකයේ දරුණුම ජාතිවාදී ජන සංහාරය ඇතිවුන රට රුවන්ඩාව. දවස් 5ක්, 6ක්, 7ක්, ඇතුලත මන් හිතන්නේ මිලියනයකට අධික ප්‍රමාණයක් මරා දැමුවා. ඔබ අහලා ඇති හුටු – ටුට්සි ජාතිවාදී අරගලය. ඒ ප්‍රශ්නය මෑතකදී ඇති වුණේ. ඒ සියලු ප්‍රශ්න විසඳගෙන දරාගෙන කොහොමද මේ තත්ත්වයට දියුණු වුණේ කියන එක ඇත්තටම පුදුමයක්. ඒක තමයි මගේ හිතේ ඇඳුනේ. ඇත්තටම අර අපි පාවිච්චි කරනවා ලංකාව වගේ රටවල් වල ජාතිවාදී ප්‍රශ්න එනකොට සහජීවනය කියලා වචනයක්.ඔය සහජීවනය කියන වචනයට මම දකින හොඳම උදාහරණය තමයි රුවන්ඩාව.කොහොමද ඒ අය ඒ ජාති භේද ප්‍රශ්නය විසඳගෙන රටේ ආර්ථිකය දියුණු කළේ කියන කාරණාව?මේ සියලු කාරණා නිසා රුවන්ඩාව කියන රට මම ගියපු රටවල් වලින් මගේ හිතේ ඉහළින්ම ලියවිලා තියෙනවා.
ඔබතුමා අපිට කිව්වා දැනට රටවල් 89ක සංචාරය කරලා තියෙනවා කියලා. ඒ අතරින් නැවත නැවත යන්න හිතෙන රට මොකක්ද සංචාරය කිරීම සඳහා?
ඒක ටිකක් අමාරු ප්‍රශ්නයක්. මොකද මම සංචාරකයෙක් හැටියට බොහෝ රටවල් වලට ආදරය කරනවා.හැම සංස්කෘතියකටම හැම ආහාර වර්ගයකටම ගොඩාක් ආදරය කරනවා.නැවත නැවත ගිය රටවල් අතර මම යන්න කැමතිම රටක් තමයි නවසීලන්තය. ඒකට හේතුව තමයි නවසීලන්තයේ තියෙන පරිසරය, ඒ රටේ ඉන්න මිනිස්සු, ලස්සන මේ හැමදේම නිසා. ඊට අමතරව මම බොහොම කැමතියි නැවත නැවතත් යන්න බොලිවියාව, චිලී, පේරු, එවැනි රටවල්වලට. මොකද ඒවායේ තියෙන විචිත්‍රත්වය, ඒ වගේම අහාර රටාව වගේම එක එක වර්ගයේ මිනිස්සු මේ දේවල් එක සංචාරයකින් හොයලා බලලා ඉවර කරන්න අමාරුයි. ඒ නිසා ඒ රටවලට නැවත නැවතත් යන්න හිතෙනවා. ඔබටත් වතාවක් ගියොත් හිතෙයි “අපරාදේ! මට තව දවසක් දෙකක් ඉන්න ලැබුණා නම්” කියන හැඟීම. ඔය රටවල් තමයි මට නැවත වරක් යන්න ලැබෙනවා නම් මම යන්න උත්සාහ කරන රටවල්.
එතකොට ඔබ මේ වසර 10ක පමණ කාලයක් පුරාවට ඒ වගේම රටවල් 89ක පමණ සංචාර කරමින් ශ්‍රී ලාංකිකයෙකු ගිහිල්ලා නැති තැන් වලට ගිහිල්ලා ඒ ප්‍රදේශවල තියෙන සුන්දරත්වය සහ අසුන්දරත්වය, ඒ සංස්කෘතිය ඉගෙන ගෙන ඒ සංස්කෘතීන් සමග ජීවත් වෙලා සිටි පුද්ගලයෙක් වශයෙන් ඔබට අත්විදින්නට සිදුවුණ ත්‍රාසජනක සිදුවීම් එහෙමත් තිබෙනවා ඇති?
ඔව් මම සිදුවීමක් දෙකක් පමණක් මතක් කරන්නම්. මම මුහුණ දුන්නු ඉතාම අමාරු අවස්ථාවක් තමයි ඔබ අහල ඇති බුරුන්ඩි කියන රට. බුරුන්ඩි කියන්නේ රුවන්ඩාව ට දේශ සීමා වෙන රටක්.මේක වුනේ මම රුවන්ඩාව ට ගිය වෙලාවේ 2015. මට හොඳටම දවස මතකයි. මැයි මාසයේ දහතුන් වැනිදා බුරුන්ඩිවල හටගත්තා කැරැල්ලක් ඒ රටේ ජනාධිපතිට විරුද්ධව. ඒ රටේ ජනාධිපතිවරයා තුන්වෙනි නැත්නම් හතරවෙනි වතාවටත් ඡන්දය ඉල්ලීමට විරුද්ධව හරියටම මම ගිය ඒ මොහොතේ ඒ දවසෙම තමයි මේ කැරැල්ල පටන් ගත්තේ. මම හිතන්නේ ඒ රටේ හමුදා නායකයා රාජ්‍ය බලය අල්ලා ගත්තා. ඒ වන විට මම මගේ රියදුරා සමග යම් ප්‍රමාණයක් බුජුම්බරා (නගරයකි) ඇතුළට ඇවිල්ලා හිටියේ. ඒ කියන්නේ ආපහු යාමක් ගැන හිතන්න අපහසුයි. මොකද හැම තැනකම මිනිස්සු. ඒ මිනිස්සු ඔක්කොම කඩු, පොලු අරගෙන. ඔබ දැකලා ඇති අප්‍රිකානු චිත්‍රපටිවල සමහර දර්ශන මම මගේ ඇස් ඉදිරිපිට එවැනිම දර්ශන දැක්කා. මිනිස්සු දහස් ගණනක්. සමහරුන් රටින් පැනලා යනවා යාබද රටවල් වලට. ටැන්සානියා දේශ සිමාව දෙසට, රුවන්ඩාවේ දේශ සීමාව දෙසට අනික් පසින් මම හිතන්නෙ කොංගෝ. මේ රටවල් වලට පැනලා යන්න උත්සහ කරනවා. මගේ රියදුරා මගෙන් අහනවා “සර්, ඇයි මේ මිනිස්සු ඔක්කොම රටින් පිටවෙලා යද්දී අපි ඇතුලට යන්න හදන්නේ කියලා?” නමුත් එතනදි වෙන විකල්පයක් තිබුණේ නැහැ, අවසානය දක්වා යා යුතු වූ නිසා. මට එතනදී කුඩා අවස්ථාවක් ලැබුණා මාව දැක්කහම ඒ රටවලදී එතරම් විදේශිකයෙක් විදිහට කැපිලා පේන්නෙ නැහැ. මොකද මම සුදු ජාතිකයෙක් නොවන හින්දා. ඒ නිසා මම ගැන එතරම් අවබෝධයක් තිබුනේ නැහැ. මිනිස්සුන්ගේ අවධානය වෙන තැනක තිබුනේ. ඇතිවෙලා තිබුණු කැරලි කෝලාහල ඒ වගේම එතන තිබුණා ඒ රටේ හුටු ටුට්සි ගෝත්‍ර අතර ජාතිවාදී කොලහලයකුත්. කෙසේ හෝ මගේ සංචාරක මග පෙන්වන්නා සහ මගේ රියදුරාට හැකි වුණා මාව ආරක්ෂා කරගෙන එතන තිබුන කතෝලික පල්ලියක නතර වෙන්න. ඒ පියතුමා කැමති වුණා තත්වය සමනය වනතෙක් දින කිහිපයක් අපට නවාතැන් දෙන්න. නවතින්න කිසිම තැනක් තිබ්බේ නැහැ අපිට වෙන. ඒ කලබල නිසා මට ඔවුන් එලියටවත් බහින්න ඉඩ දුන්නේ නැහැ දින කිහිපයක් යනකන්. ඒක මම ජීවිතේ මුහුණපාපු අමාරුම, භයානකම අත්දැකීමක්. මිනිස්සු හැමකෙනෙක්ගෙම අතේ මන්නා-පිහි. මට තවම පුදුමයි එතැනින් බේරිලා ආපු විදිහ.
ඔබ විවිධ රටවල් වල විවිධ කලාපවල සංචාරය කරද්දී විවිධ දේශගුණයන් ට මුහුණ දීමට සිදු වෙනවා. මේ දේශගුණික තත්ත්වයන් කොහොමද ඔබගේ සංචාරයට බලපෑවේ?
දේශගුණය කියන වචනය ගැන මගේ ලොකු සැලකිල්ලක් නැහැ. මොකද ලෝකය වටේ සංචාරය කරන සංචාරකයෙක් විදියට මම හිතනවා ශීතලට, උණුසුමට ඒ වගේම සෞම්‍ය කාලගුණයට අපි ටිකක් පුරුදු වෙන්න ඕනෑ. එනිසා මම ඒ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ. යුරෝපයේ මේ සම්බන්ධයෙන් ප්‍රස්ථා පිරුළක් තියෙනවා. ලෝකෙ කොහෙවත් නරක දේශගුණයක් නැහැ, තියෙන්නේ අපි ඒ දේශගුණයට නොගැළපෙන ඇඳුම් පැළඳ ගෙන යාම පමණයි කියලා. නමුත් මට මුහුණ දීමට සිදු වූ අසීරුම දේශගුණය තමයි මම ලෝකයේ මිනිසුන් වෙසෙන ශීතලම ප්‍රදේශයේ සංචාරය කිරීමේදී මට අත්විඳීමට සිදු වූ ශීතල. මට රුසියාවේ සෑහෙන කාලයක් ජීවත් වෙලා ශීත සමය පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. මම පුද්ගලිකවත් කැමතියි ශීත සමයට. නමුත් සෙල්සියස් අංශක -55ක ශීතලක්. අත්වැසුම් දෙකකුත් පැළදගෙන තත්:5කට ෆොටෝ එකක් ගහන්න කැමරාවේ බට්න් එකක් මොබයිල් ෆෝන් එකක් ප්‍රෙස් කරන්න ඇඟිල්ලක් එළියට දැමීමත් අපහසුයි. එතරම් තද ශිතලක්. යන වාහන වැඩ කරන්නේ නැහැ. රෝද කරකැවෙන්නේ නැහැ. වාහනේ ඇතුලෙවත් ඉන්න අපහසුයි, කකුල එක තැන විනාඩි 5ක් තියාගෙන ආවොත් ෆ්‍රීස් වෙනවා.
Oymyakon (රුසියානු ගම්මානයකි) ගම්මානයේ, වතුර වීදුරුවක් එළියේ තිබ්බොත් තත්පර කිහිපයකින් ඒක අයිස් බවට හැරිලා. එවැනි සීතලක් තියෙන්නෙ. අපහසුම කාර්යය තමයි වැසිකිලියට යාම. ඒ ගම්මානය මිනිසුන් 400-450ක් වගේ ජීවත් වෙන බොහොම දුප්පත් ගම්මානයක්. සාමාන්‍ය ගෙවල්වල වැසිකිලිය තියෙන්නේ මීටර් ගණනක් එළියේ. නිවසට ඈතින්. ඒවාට විදුලිය නැහැ. රාත්‍රියක එවැනි අවශ්‍යතාවයක් ඇති වුණොත් ශීතලට අදාළ සියලුම ඇඳුම් ඇඳගෙන එම දුර ගමන් කරන්න වෙනවා. ආලෝකය ලබා ගන්න පාවිච්චි කරන්න පුළුවන් දුරකථනයේ ටෝච් එක පමණයි. ඒකත් සීතල නිසා සුළු වෙලාවකින් අක්‍රිය වෙනවා. එවැනි ඉතාම අපහසු දේශගුණයක්. නමුත් එහි වෙසෙන මිනිසුන්ට එය හුරුපුරුදුයි. ඔවුන් පරම්පරා ගානක් ජීවත් වුණ තැනක්. නමුත් අපිට ආසියාතික උණුසුම් දේශගුණයක් තියෙන රටක මිනිස්සු විදිහට ඒ දේ දරා ගන්න අපහසුයි. මට ඉතාම අපහසුතාවන්ට මුහුණ දෙන්න සිදුවුණා. මගේ අතේ ඇඟිලි ෆ්‍රීස් වුණා. මගේ කැමරා දෙකක් සම්පූර්ණයෙන්ම වැඩ කරන්නෙ නැතුව භාවිතයෙන් ඉවත් කරන්න වුණා. මේ වගේ අසීරුතම දේශගුණයකට මුහුණ දෙන්න සිදුවුණේ ලෝකයේ මිනිසුන් වෙසෙන සීතලම ප්‍රදේශයට ගියාට පස්සේ.
ඒ වගේම ඔබතුමා ඉදිරියේදී සංචාරය කිරීමට බලාපොරොත්තු වෙන වෙනස්ම ස්ථාන මොනවද?
එවැනි සැලසුම් කරපු ස්ථාන කීපයක්ම තිබෙනවා මේ දිනවල. නමුත් අද මේ ලෝකයේ තියෙන අවිනිශ්චිත තත්ත්වයත් සමග ඒ සැලසුම් ඒ අයුරින්ම ක්‍රියාත්මක නොවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඒ ගැන කතා කිරීම අපහසුයි. මොකද ලෝකයේ කොයි තැනක කොයි විදිහක දෙයක් වෙයිද කියලා අපිට කියන්න බැහැ.
නමුත් මගේ හිතේ අවුරුදු ගාණක ඉඳන් තියනවා මිනිසුන්ගේ සංස්කෘතීන් සම්ප්‍රදායන් ගැන අධ්‍යනය කරන්න. ඒ සඳහා ආසියාතික රටවල් කිහිපයකට යන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් මේ දිනවල කටයුතු සුදානම් කරගෙන යමින් පවතිනවා.
ඔබේ අත්දැකීමුත් සමග දැනට සංචාරයේ යෙදෙන අයට ඒ වගේම සංචාරයේ යෙදෙන්න කැමැත්තෙන් ඉන්න අයට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?
මම හිතන්නේ ජාත්‍යන්තරව හෝ වෙනත් ඕනෑම සංචාරයකදී සංචාරකයෙක් හැටියට තිබිය යුතු ප්‍රධානම ගුණාංගය තමයි ගරු කිරීම. ගරු කිරීම කියන්නේ ඉතාම පුළුල් පරාසයක් ඇති වචනයක්. ඒක සංචාරකයෙක් හැටියට වගේම සාමාන්‍ය පුද්ගලයෙක් හැටියටත් තිබිය යුතු දෙයක්. එතනදී අපි අපේ අදහසක් සමග මේක සසදලා හිතන්න පුළුවන් මේක වැරදියි. ඒ මත පිහිටලා ඒ අදහස හිතේ තියාගෙනයි අපි අර පුද්ගලයින් සමග සම්බන්ද වෙන්නෙ. එතකොට අපේ තියෙන නොකැමැත්ත අපේ හැඟීම් වලින් ක්‍රියාවල් වලින් ප්‍රකාශයට පත් වෙනවා. ඒක මම දකින්නේ අර ජන කොට්ටාශයට, අර මිනිස්සුන්ට, ඔවුන්ගේ සිරිත්-විරිත්, අදහස්-උදහස් ආදියට කරන අගෞරවයක්.
ඔබ ඒ මිනිස්සුන්ගේ දේවල් පිළිගන්න කැමැති නම් ඒ මිනිසුන් සමග එකට වාඩි වෙලා ආහාර ගන්න පුලුවන්නම් ඔවුන් කියන දේවල් අහගෙන ඉන්න පුළුවන් නම් එතැනදී ඔබ නියම සංචාරකයෙක් බවට පත් වෙනවා. එතකොට ඔවුන්ගේ හදවත්වලට යන්න හරි ලේසියි. ඒ මිනිස්සු එක්ක එකතු වෙලා ඔවුන්ගේ කෑම ඒ අය කන විදිහට කන්න පුළුවන් නම් ඔවුන්ගේ භාෂාවෙන් කියන දේ අහන් ඉන්න කැමති නම්, භාෂාව නොතේරුණත් ඒකට ඉන්නවා පරිවර්තකයින්. ඒ මිනිස්සුන්ගේ විදිහට ඔවුන්ගේ ගෙවල් දොරවල්වල ජීවත් වෙන්න කැමති නම් එතැනදී තමයි නියම සංචාරකයෙක් බිහි වෙන්නෙ. මම දකින්නේ මේ ගුණාංගය අප තුල වර්ධනය කරගත යුතුයි.
එතනදි ඔබට ඔවුන්ගේ හදවත් වලට ලං වෙලා ඒ මිනිසුන්ගෙන්ම බොහෝ දේ දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ දෙය ලැබෙන්නේ ඔවුන් සමග ඒ මිත්‍රත්වය ඇති වුණොත්. එම මිත්‍රත්වය ඇති වෙන්න නම් ගරු කිරීම අනිවාර්යයි.
සතුටුයි ඔබට Ninenews.lk අපිත් සමග එකතුවෙලා ඔබේ සංචාරක ගමනේ අත්දකීම් අපි සමග බෙදාගැනීමට එකතුවීම පිළිබදව ඔබට තව තවත් ලොකේ සුවිශේෂී තැන් වලට Travel කරන්න සහ ඔබේ ඉදිරි කටයුතු සාර්ථකව කරගන්න ලැබෙන්න කියල අපි ප්‍රර්ථනා කරනවා.
Interview – Chanaka Ranasinghe / Editor – Yashodara Weerasinghe