A Brand of Non Media Shout (Private) Limited

පොදු ජනතාවගේ අපේක්ෂාවන් සමග සෙල්ලම් කිරීමට අපට අයිතියක් නෑ – ඇමති විමල්

රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගෙන ක්‍රියාකළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගා ගතහැකි බව

මිතුරන් සමග ‌බෙදාගන්න

රජය අතින් සිදුව ඇති අඩුපාඩු හා සිදුනොකළ යුතුව තිබූ දේවල් හඳුනාගෙන ක්‍රියාකළහොත් කඩවී ඇති ජනතා විශ්වාසය ඉදිරි වසර තුන තුළදී යළි ගොඩනගා ගතහැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ අද (11) පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

“ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජය, මේ දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් සිදුකරමින් සිටින අවස්ථාවකයි තමුන්නාස්සේලා අපි මේ අමතන්නේ. අපෙන් වුණ අඩුපාඩු මොනවා ද?, වැරදි මොනවාද ? නොවිය යුතුව තිබුණ දේවල් මොනවා ද කියන එක හරියට තක්සේරු කරලා ඉදිරියට ගියොත් මේ ඉදිරි වසර 3 තුළ මේ රටේ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනාගැනීම ට නොහැකි කරුණක් නෙමෙයි. හැබැයි ඒකේ දී අපි අවංක වෙන්න ඕනේ. ඒකේ දී මිනිස්සු හිතන විදිය ගැන තේරුම් ගන්න ඕනේ. ඒකේ දී අපි මහජනයාගේ අපේක්ෂාවන් ට මුල්තැන දීලා වැඩ කරන්න ඕනේ. එහෙම නොවෙනවානම් අපි කොයි තරම් අතීතය ගැන ආපසු හැරිලා බලලා නිවැරදි කියවා ගැනීමක් කර ගත්තත් භාවිතයේ දී එය ජයගැනීමට අපිට පුළුවන්කම ලැබෙන්නේ නෑ. ජාතික ආරක්ෂාව වෙනුවෙන් වෙනත් ඕනෑම උවමනාවක් වෙනුවෙන් ගතයුතුව තිබෙන තීරණ නොගෙන කරඅරින්නේ නැති පාලන තන්ත්‍රයක් තමයි මේ රටේ පොදු ජනතාව එදා අපේක්ෂා කළේ. පොදු ජනයාගේ එම අපේක්ෂාවන් සමග සෙල්ලම් කරන්න අපට අයිතියක් නෑ. ඒ විශ්වාසයට පිටුපාන්න අපට අයිතියක් නෑ. වසංගතයක් එක්ක ජීවත්වෙන්න වුණ නිසා කළ යුතුව තිබුණ සමහර දේවල් අපෙන් මඟ හැරිලා තියෙනවා. ඒ වගේම විශේෂ අවධානය යොමු කරලා කළ යුතුව තිබුණ දේවල් නොවී තිබෙනවා. මේවා වෙනස් කර ගන්න අපට තවමත් කල් තියෙනවා. ”

මේ අතර විමල් වීරවංශ මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන සම්බන්ධයෙන් පිළියන්දල ගංඟාරාම විහාරස්ථානයේ අද පැවති කහ පැළ බෙදා දීමේ වැඩසටහනකින් අනතුරුව මාධ්‍යෙව්දීන් විමසා සිටියේය.

ප්‍රශ්නය – ඔබතුමාගේ ෆේස්බුක් එකේ සටහන එක්ක හිතෙනවා ඔබතුමා රජය ගැන කලකිරීමකින්ද ඉන්නේ ?

“නෑ…නෑ.. ඒ සටහනේ තියෙන්නේ, මම නොකියපු දේවල් ඒ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කිව්වා කියලා වෙනත් අය විවිධාකාරයෙන් පතුරවනකොට මට සිද්ධ වුණා මම ඇත්තටම කැබිනට් මණ්ඩලයේ දී කිව්ව දේ ලියන්න. ඒ මම කිව්ව දේ මිසක් වෙන ප්‍රශ්නයක් නෑ.”

ප්‍රශ්නය – ඉදිරියේ දී මේ රජය සමඟ සහයෝගයෙන් වැඩ කරනවා ද?

“ඇයි දැන් සහයෝගය නෑ වගේ ද පේන්නේ”

ප්‍රශ්නය – පොඩි පොඩි දේවල් උනානේ පහුගිය කාලේ ?

“පොඩි පොඩි දේවල් වෙනවා.”

 

තවත් පුවත්