A Brand of Non Media Shout (Private) Limited

“මහේන්ද්‍රන් නොමැතිව බැඳුම්කර නඩුව ඇරඹෙයි” – අතිරේක සොලිසිටර් ජනරාල් අධිකරණයෙන් කල ඉල්ලීම!

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය

මිතුරන් සමග ‌බෙදාගන්න

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව මහ බැංකු බැඳුම්කර වංචා නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා අද (13) කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය.

2015 වසරේ පෙබරවාරි මස මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ නඩුවේ එම විත්තිකරුවන් දෙදෙනා මේ වන විට විදේශ ගතව සිටින බව වාර්තා වේ.

එම නඩුව අද චම්පා චානක රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ වාසය කරන බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු රජය සමඟ උදර්පණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවත් එය සක්‍රීයව පවතින බවත් සඳහන් කළේය.

එම උදර්පණ ක්‍රියාවලිය සම්පූර්ණ වීම සඳහා කාලය ගත වන හෙයින් විත්තිකාර අර්ජුන් මහේන්ද්‍රන් නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සඳහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බවත් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා දැනුම් දුනි.

එමෙන්ම මෙම නඩුවේ 10 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තා මේ වන විට මැලේසියාවේ වාසයකරන බවට තොරතුරු ලැබී ඇති බවත් උදර්පණ නීතිය යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීම ප්‍රායෝගිකව අපහසු බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් එම විත්තිකරු නොමැතිව නඩුව පවත්වාගෙන යාම සදහා සාක්ෂි මෙහෙය වීමට අපේක්ෂා කරන බව අතිරේක සොලිස්ටර් ජනරාල් නාවාන මහතා දැනුම් දුන්නේය.

ඒ අනුව, නඩුව නැවත දෙසැම්බර් මස 03 වනදා කැඳවීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින එම විත්තිකරුවන් දෙදෙනා නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට අවශ්‍ය සාක්ෂි මෙහෙවීමට පියවර ගන්නා ලෙස පැමිණිල්ලට නියෝග කළේය.

එමෙන්ම අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට අදාළ උදර්පණ ක්‍රියාවලියේ ප්‍රගතියක් තිබේ නම් ඒ පිළිබඳව මෝසමක් මාර්ගයෙන් අධිකරණය දැනුවත් කරන ලෙසත් දැන්වීය.

2015 වසරේ පෙබරවාරි මස 27 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරන භූ බැඳුම්කර වෙන්දේසියකදී රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් පොදු දේපළ පනත යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, එම බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස් ජෙෆ්රි ඇලෝසියස් එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ නඩුව ගොනුකර ලදි.

තවත් පුවත්