උතුරේ යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන්ට ලබාදීම හෙට (03) සිදු කෙරේ.
පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 75 වන නිදහස් දින සැමරුමට පෙර උතුරේ ඉඩම් නිදහස් කර මුල් පදිංචි කරුවන් වෙත බාර දෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දුව ඉටු කරමින් ආරක්ෂක අංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවා තිබේ.
මෙසේ බාර දෙනු ලබන බිම් කොටස් අතර යුද හමුදාව භාවිතයේ පැවති බිම් කොටස් පහක් සහ නාවික හමුදාව භාවිතයේ පැවති එක් බිම් කොටසක් ද වන අතර අදාල ඉඩම් හිමිකරුවන් හඳුනා ගැනීම විනිවිදභාවයෙන් යුතුව සිදු කෙරුණු බව ජනාධිපති කාර්යාලය පවසයි.
යුද්ධය හේතුවෙන් අවතැන් වී තවමත් පේදුරුතුඩුවේ කඳවුරු 09ක රැඳී සිටින පවුල් 75ක් සඳහා උතුරු පලාලි ප්‍රදේශයෙන් රජය සතු ඉඩම් අක්කර 13ක් බෙදා දීමට නියමිතය.
මෙසේ නිදහස් කරනු ලබන භූමි ප්‍රදේශයේ පිහිටි නගර සභා ශාලාව වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවට බාර දීම ද සිදු කෙරේ.
මේ අතර නැවත පදිංචි කිරීමට නියමිත පවුල් 197කට නැවත පදිංචි කිරීමේ ආධාර කඩිනමින් ලබාදෙන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත පදිංචි කිරීමේ විෂය බාර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.