A Brand of Non Media Shout (Private) Limited

කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු අරඹන්න – කෘෂිකර්ම ඇමති ඉල්ලයි

රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය නොකර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටී. “ගොවියෝ උද්ඝෝෂණය කරලා

මිතුරන් සමග ‌බෙදාගන්න

රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය නොකර කාබනික පොහොර භාවිතයෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

“ගොවියෝ උද්ඝෝෂණය කරලා පාරට බැස්සේ පොහොර ඉල්ලලා. මේ වන විට ආණ්ඩුව පොහොර ලබා දෙමින් යනවා.  මහ කන්න පටන් ගත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 29ට මේ වනවිට පොහොර වර්ග 3ක් අපි බෙදලා ඇරලා තියෙනවා. මේ මාසේ අග වනවිට නයිට්‍රජන් පොහොර ටික ලංකාවට එනවා. ඒ අනුව වී ගොවි තැන සහ බඩ ඉඟුරු සඳහා අවශ්‍ය සියලු පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ට ලබා දීමට කටයුතු කරනවා.  පොහොර ඉල්ලපු ගොවියෝ දැන් කියනවා කාබනික පොහොර නෙමෙයි අපිට රසායනික පොහොර ලබා දෙන්න කියලා. අපිට රසායනික පොහොර ආනයනය කරන්න වෙලාවක් නෑ.  ආනයනය කළත් අපට මාස 2ක් යනවා. ඒ නිසා රසායනික පොහොර ඉල්ලලා ගොවියෝ උද්ඝෝෂණය කරලා මේක දේශපාලනිකරණය කරන්න වෙනත් පුද්ගලයින් උත්සාහ කරනවා. අතිගරු ජනාධිපතිතුමා සහතිකයක් දුන්නා ඉදිරි සති 2කේ වෙලාවට පොහොර දෙනවා කියලා. ඒ දෙන පොහොර පිළිබඳව රජය වගකීම ගන්නවා කියලා. එ විතරක් නෙමේ ඒ පොහොර භාවිතා කරලා නිෂ්පාදනයේ අඩුවක් වුණොත් ඒ සඳහා වන්දි ගෙවන බවටද ආණ්ඩුව කිව්වා. මේක අභියෝගයක් කියලා අපි දන්නවා. නමුත් මේ මොහොතේ අපි පොහොර ටික ලබා දීලා තියෙනවා. සමස්ත ගොවි ජනතාවගෙන් ඉල්ලනවා  වී වගාව සඳහා ගොවි බිමට ගිහිල්ලා අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේම අප ආනයනය කරන ලද පොටෑසියම් පොහොර රසායනික පොහොරක් කියලා ආණ්ඩුවට චෝදනා එල්ල කරනවා. මේක ඛනිජමය සම්භවයකින් නිෂ්පාදනය කළ කාබනික පොහොරක්.”

මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන්  අදත් (15) පොහොර ඉල්ලා විරෝධතාවල නිරත විය.

පොළොන්නරුව අරලගංවිල වෙහෙරගල ප්‍රදේශයේ ගොවි සංවිධාන 24ක ගොවීන් ද වෙහෙරගලදී විරෝධතාවක නිරත වුණි.

ඔවුන් ඉල්ලා සිටින්නේ වගාවන්ට යෙදීමට 50%ක් රසායනික පොහොර ලබාදෙන ලෙසය.

විරෝධතාව පවතින අතරවාරයේ එම ස්ථානයෙන් ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගමකට අයත් සහල් රැගත් ලොරි රථයක් ධාවනයවීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක ඇති විය.

මහ කන්නයේ වගාවට අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදෙන්නැයි ඉල්ලමින් අම්බලන්තොට දෙහිගහලන්ද කාවන්තිස්ස ගොවි සංවිධානයේ ගොවීන් ද අම්බලන්තොට දෙහිගහලන්ද ප්‍රදේශයේදී අද විරෝධතාවක නිරත විය.

මේ අතර, රසායනික පොහොර ඉල්ලමින් තවත් ගොවීන් පිරිසක් අද විරෝධතාවක නිරතවුණේ මහියංගනය ගැමුණුපුර වෙල්යායේදීය.

මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර ඉල්ලා හම්බන්තොට මොරයාය ප්‍රදේශයේ ගොවීන් ද ඊයේ (14) විරෝධතාවක නිරතවිය.

මේ අතර තේ වගාවන් සඳහා පොහොර ඉල්ලා කුඩා තේ වතු හිමියන්ගේ සමිති සම්මේලනය සංවිධාන කළ විරෝධතාවක් ගාල්ල කොට්ටව ප්‍රදේශයේදී පැවැත් විනි.

මහියංගනය ගින්ඔරුව ප්‍රදේශයේ ගොවීන් ගින්ඔරුව වෙල්යායේදී ඊයේ උද්ඝෝෂණයක නිරත වුණේ පොහොර ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන මෙන්  ඉල්ලීම් කරමිනි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මහනුවර පොල්ගොල්ල ශ්‍රී බෝධිමල්කඩ විහාරස්ථානය වෙත අද පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව ඔවුන් විසින් රසායනික පොහොර නොමැතිව තේ කර්මාන්තය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන්ද උන්වහන්සේ දැනුවත් කළේය.

මේ අතර මහ කන්නය සඳහා කාබනික පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳව සාකච්ඡාවක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සුදර්ශන දෙනිපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය පැවසුවේ දැනට නිෂ්පාදනය කර ඇත්තේ කාබනික පොහොර අවශ්‍යතාවයෙන් 1%ක් පමණක් බවය.

මේ අතර එලඹෙන මහ කන්නය සඳහා ගොවි ජනතාවට ප්‍රමිතියෙන් යුතු රසායනික පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් සරුබිම ජාතික කෘෂි සභාව සංවිධාන කළ විරෝධතාවයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී පැවැත්වුණි.

අනතුරුව ඔවුන් පාගමනින් කෘෂිකර්ම අමාත්‍යංශය වෙත පැමිණි අතර එම අවස්ථාවේ එහි ගේට්ටුව වසා තිබීම හේතුවෙන් එම ස්ථානයේදී ද විරෝධතාවයේ නිරත විය.

විරෝධතාකරුවන් එම ස්ථානයෙන් පිටත්වන අවස්ථාවේදී අමාත්‍යංශ ලේකම්වරයා එහි පැමිණි අතර පසුව ඔහු විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවක නිරත විය.

මේ අතර, මෙවර මහ කන්නය ආරම්භ කිරීම සඳහා අම්පාර සේනානායක සමුද්‍රෙය් ජලය නිකුත් කිරීම අද ආරම්භ කෙරුණි.

ජලය මුදා හැරීමට පෙර සිදුකරන ආගමික වතාවත් සේනානායක සමුද්‍ර බැම්ම මතදී සිදු කළේය.

මේ අතර මෙවර මහ කන්නය සඳහා අම්පාරේ ගොවීන්ට පොහොර ලැබෙන බවට විශ්වාසය ඇතිවීමත් සමඟ කඩිනමින් වී ගොවිතැන සිදුවන ආකාරය දැකගත හැකිවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේය.

මේ අතර, මහ කන්නයේ වගාවන්ට ජලය සැපයීමට මාගල්ල වැවේ සොරොව්ව විවෘත කිරීමට වාරිමාර්ග නිලධාරීන් අද පැමිණි අවස්ථාවේ ගොවින් එහි විරෝධතාවක නිරත විය.

පොහොර නොමැතිව ජලය සැපයීම ඵලක් නොවන බව ගොවීන් පෙන්වා දීමත් සමඟ සොරොව්ව යළි වසා දැමීමට පියවර ගෙන තිබේ.

පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ලබානොදීම හේතුවෙන් මාස් කන්නයේ වී වගාවෙන් ඉවත් වන බව ලුණුගම්වෙහෙර වම් ඉවුර ඩීසී යාය 1හා 2 ගොවි සංවිධානවල ගොවීන් අද ප්‍රකාශ කළේ ගොවි නියෝජිතයින් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවය.

තවත් පුවත්