A Brand of Non Media Shout (Private) Limited

මම රංගන ශිල්පිනියක් වුණේ අහම්බෙන් නෙමෙයි

දහ නවවැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී 2022 වසරේ හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගත් ආදරිය, දෑස් නොපෙනෙන මුත් ගුණ සුවඳ පිරි ගුණාදරී

මිතුරන් සමග ‌බෙදාගන්න

දහ නවවැනි රයිගම් ටෙලි සම්මාන උළෙලේදී 2022 වසරේ හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගත් ආදරිය, දෑස් නොපෙනෙන මුත් ගුණ සුවඳ පිරි ගුණාදරී ලෙසින් මාණික්කාවත ටෙලි සිත්තම හැඩ කළ වොල්ගා කල්පනී හොඳම නිළියට හිමි සම්මානය හිමිවීම ගැන ‘පිනිපලස’ එක්ක ඒ විදියට දොඩමලු වුණා.

“රයිගම් සම්මාන උළෙලේදී හොඳම නිළිය හැටියට නිර්දේශ වීමම ජයග්‍රහණයක්. ඒ ගැන මට ලොකු සතුටක් තිබුණා. ඒ නිර්දේශ වීමෙන් පස්සේ මම මේ සම්මානය ගැන කිසිම දෙයක් හිතුවේ නැහැ. මොකද මම වගේම මාණික්කාවත ටෙලි නාට්‍යය සඳහා රංගනයෙන් දායක වුණු උමා අසෙනිත් මේ සම්මානයට නිර්දේශ වෙලා තිබුණා. මම වගේම ඇයත් මාණික්කාවත වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. ඉතින් සම්මානය කාට ලැබුණත් ඒ ජයග්‍රහණය ලැබෙන්නේ මාණික්කාවත වෙනුවෙන්. කොහොම වුණත් මාණික්කාවතේ ගුණාදරීට ප්‍රේක්ෂකයන් දැඩිව ආදරය කරලා තිබුණා. ඒ ආදරය අදටත් වෙනස් වෙලා නැහැ. ගුණාදරී මගේ ජීවිතය වෙනස් කළා.”

මාණික්කාවත ටෙලි නාට්‍යයේ ගුණාදරී කියලා කියන්නේ ඇස් නොපෙනෙන චරිතයක්. ඒ චරිතය වෙනුවෙන් ලැබුණ සම්මානය දෑස් අන්ධ සියලුම දෙනා වෙනුවෙන් උපහාරයක් ලෙස පිළිගන්වන්නත් වොල්ගා අමතක කළේ නැහැ.

“මාණික්කාවතේ ගුණාදරී නිසා වොල්ගා කල්පනීගේ ජීවිතය තවත් නිවුණා” වොල්ගා ගුණාදරීගේ චරිතය ගැන කතා කළ හැම වචනයකම සතුට වගේම ආදරය පිරිලා ඉතිරිලා තිබුණා කියලා මට හිතුණා.

“මාණික්කාවත ටෙලි නාට්‍යයේ ගුණාදරීගේ චරිතයට ලැබුණු සම්මානය වෙනුවෙන් බොහෝ දෙනෙක් වෙහෙස මහන්සි වුණා. ඒ නිසා මේ සම්මානය අයිති මට විතරක් නෙවෙයි. මාණික්කාව රචනා කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයා වගේම වොල්ගා කල්පනී කියන රංගන ශිල්පිනියව ගුණාදරී කළ සුදත් අයියා, තුසිත අයියා, පාහිම් අයියා ඇතුළු මාණික්කාවත කණ්ඩායමටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.”

ඒ වගේම හොඳම නිළිය දක්වා පැමිණි ගමන් මගේදී වොල්ගාට දැඩි සේ ආදරය දුන් ප්‍රේක්ෂකයන්ට, ඇය හොඳම නිළිය බවට පත් කළ රයිගම් ටෙලි සම්මාන උළෙලට සහ විනිසුරුවරුන්ට ස්තුති කරන්නත් වොල්ගා අමතක කළේ නැහැ.

මාණික්කාවත ටෙලි නාට්‍ය පුරාවටම වොල්ගා ගුණාදරීගේ චරිතයට උපරිම සාධාරණයක් කළා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දෑස් පෙනෙන චරිතයක් රඟපානවාට වඩා දෑස් නොපෙනෙන චරිතයකට පණ දීම අපි හිතනවට වඩා දුෂ්කර කාරණාවක්. ගුණාදරීගේ තරුණ කාලය වගේම මැදි වයස හැඩ වුණේත් වොල්ගාගේම රංගනයෙන් වීමත් සුවිශේෂී කාරණාවක්. මාණික්කාවතෙහි ගුණාදරීගේ චරිතය ගැන ඇය මේ විදිහට මතකය ආවර්ජනය කළා.

“වොල්ගාට ගුණාදරී කියන චරිතයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. ඇස් පේන මිනිස්සුන්ට වඩා ඇස් නොපෙනෙන මිනිසුන්ට හැම දෙයක්ම දැනෙනවා වැඩියි කියලා මම තේරුම් ගත්තේ ගුණාදරීගේ චරිතය නිසා. මාණික්කාවත රූපගත කිරීම්වලට අවුරුදු තුනකට කලින් තමයි මට මේ චරිතය සඳහා ආරාධනා ලැබෙන්නේ. මම මේ චරිතය වෙනුවෙන් මාණික්කාවත කෘතිය සෑහෙන වතාවක් කියවලා තියෙනවා. ඒ වගේම අන්ධ චරිතයක් කොහොමද කරන්නේ කියන එක තේරුම් ගන්න මම අන්ධ පුද්ගලයන් එක්ක කාලය ගත කළා. මම වගේම මේ කතාවේ සියලු දෙනෙක්ම චරිතයට උපරිම සාධාරණයක් කරන්න බොහෝ කැපකිරීම් කළා. චරිතවල අවසාන කාලයේදී අපි කෑමෙන් බීමෙන් පවා පරිස්සම් වුණා. මාණික්කාවත අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරයා වගේම සියලු දෙනාම බොහෝ කැපකිරීම් කරලා තියෙනවා.”

මාණික්කාවත කියලා කියන්නේ මේ රටේ මහ පොළොවත් එක්ක ජීවත් වෙන මිනිසුන්ගේ කතාවක්. ගහකොළට සතා සිවුපාවන්ට ඇළ දොළට ආදරය කරන මිනිසුන්ගේ කතාවක්. ඒ නිර්මාණය වෙනුවෙන් වගේම නිර්මාණයට පණ දුන් රංගන ශිල්පීන් ශිල්පීනුත් විවිධ සම්මාන උළෙලවල්වලදී ඇගයීමට ලක් වුණා. ඉතින් රයිගම් ටෙලි සම්මාන උළෙලේදීත් මේ නිර්මාණය වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටුවුණා.

මේ දවස්වල පාරදිගේ ටෙලි නාට්‍යයේ ටුටූගේ චරිතයෙන් වගේම ටෙලි නාට්‍ය කිහිපයක් සඳහා වොල්ගා රංනයෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම තවත් නිර්මාණ කිහිපයක් සඳහාම ආරාධනා ලැබිලා තියෙනවා කියලත් අපට දැනගන්න ලැබුණා. කොහොම වුණත් වොල්ගා කියන්නේ එක දිගට පුංචි තිරයෙන් අපට මුණගැහෙන චරිතයක් නම් නෙමෙයි. ඇය ටෙලි නාට්‍ය වගේම චරිත තෝරා බේරා ගන්නේ බොහොම පරිස්සමෙන්. එක දිගට නිර්මාණ ගණනාවක රඟපාලා ඉක්මනින් ජනප්‍රිය වීමේ වුවමනාවක් නැහැ කියලා තමයි ඇය නම් කියන්නේ.

” දිර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. ඒ වගේම මම චරිත තෝරා බේරාගෙන තමයි කරන්නේ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ නිර්මාණවල දිග පළල මම හොයන්නේ නැහැ. ඒ නිර්මාණවල දිග පළල හොයන්න දේකුත් නෑ. ඒ නිසා තමයි මම පාර දිගේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නේ. එතුමාගේ නිර්මාණවල හැර වෙනත් දීර්ඝ නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නේ නැහැ. මම රංගනයට ප්‍රවේශ වෙලාත් සෑහෙන කාලයක් ගතවෙලා. මේ කාලය ඇතුළත මම ගණන් කරන්න බැරි තරම් නිර්මාණවලට සම්බන්ධ වෙලා නැහැ.”

රංගන ශිල්පිනියක් වීම කුඩා කාලයේ සිටම වොල්ගාගේ හිතේ තිබුණු හීනයක්. ඒ වෙනුවෙන් ඇය බොහෝ කැපකිරීම් කරලා තියෙනවා. පාසල් යන කාලයේදී පවා ඇය කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙන්නේ බොහොම උද්‍යෝගයකින්. මේ තාක් දුර ආ ගමන ගැන වොල්ගා මේ විදිහට වචන එකතු කළා.

“මම ජීවිතයේ දැකපු බොහෝ හීන හැබෑ වුණා. දෙයක් ලැබෙන්න තියෙනවා නම් ඒක අපිට අනිවාර්‌යෙන්ම ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ජීවිතයේ හැම දෙයක්ම හරි වෙලාවට හරියට සිද්ධ වුණා. ඒ සියල්ල ගැන මට නිහතමානී සතුටක් වගේම ආඩම්බරයක් තියනවා. මම රංගන ශිල්පිනියක් වුණේ අහම්බෙන් නෙමෙයි. බොහොම ආසාවෙන් කැමැත්තෙන් උත්සාහයෙන් තමයි මම මේ ගමන ආවේ. ඒ නිසාම කලාවට සම්බන්ධ වීම ගැන සහ රංගන ශිල්පිනියක් වීම ගැන මට ජීවිතේ කිසිම අවස්ථාවක කලකිරීමක් පසුතැවීමක් ඇති වෙලා නැහැ. මම කලාවට දැඩි ලෙස ආදරය කරනවා වගේම මගේ වෘත්තියට හැමදාම ගරු කරනවා. කෙටියෙන්ම කියනවා නම් මේ කලාව ගැන මම බොහොම තෘප්තිමත්.”

මේ විදියට ජිවිතයේ සිදු වෙන හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරා ගෙන ශක්තිමත් විදියට ජීවිතයට මුහුණ දෙන වොල්ගා නැවත වතාවක් විවාහ වෙන්න යනවා, ඇය කාටත් රහසින්ම මේ වන විටත් විවාහ වෙලා වගේ කතාත් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණා. ඒ විදිහට සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර පළ කරන පුද්ගලයන්ට අනුකම්පා කරනවා කියලා වොල්ගා අපිට කිව්වා.

ආදරය කියන්නේ නරක දෙයක් නෙමෙයි. මම කොන්දේසි විරහිතවම ආදරය කරනවා. ආදරය වෙනුවෙන් මට ඕනම දෙයක් කැප කරන්න පුළුවන්. ආදරේ කියන්නේ ගොසිප් හදන්න ඕන මාතෘකාවක් කියලා මම හිතන්නේ නෑ. බොහොම සුන්දරව විඳින්න පුළුවන් දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. විශ්වාසය තේරුම් ගැනීම තියෙනවා නම් ඒ විශ්වාසයට නිත්‍යානුකූල සහතිකයක් අවශ්‍ය නෑ. මම මගේ ආදරය කොළයකට සීමා කරන්න කැමති නෑ.”

✍ – නිරෝෂා වාසල

 

තවත් පුවත්