A Brand of Non Media Shout (Private) Limited

ඕඩර් නැතුව වැසිගෙන යන ගාමන්ට්…

ඇමෙරිකාව සහ යුරෝපා රටවලින් මෙරටට ලැබෙන ඇඟලුම් ඇණවුම් අඩු වී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංසදය පවසයි. ගෝලීය වශයෙන් ඇති

මිතුරන් සමග ‌බෙදාගන්න

ඇමෙරිකාව සහ යුරෝපා රටවලින් මෙරටට ලැබෙන ඇඟලුම් ඇණවුම් අඩු වී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංසදය පවසයි.

ගෝලීය වශයෙන් ඇති වී තිබෙන උද්ධමනය හේතුවෙන් මෙරටට ලැබෙන ඇඟලුම් ඇණවුම් 18%කින් අඩු වී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවැසීය.

මෙම තත්ත්වය ඇඟලුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇතැයි පවසන ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංසදයේ සභාපති යොහාන් ලෙවරන්ස්, දැනට ලැබී ඇති ඇණවුම් මාස දෙකකට පමණක් ප්‍රමාණවත් බවද පැවැසීය.

සැප්තැම්බර් මාසයෙන් පසු යළි ඇණවුම් ලැබෙනු ඇතැයි සඳහන් කළ සභාපතිවරයා මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව බංග්ලාදේශය, වියට්නාමය, කාම්බෝජය, චීනය වැනි රටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවලටද බලපා ඇතැයි ද සඳහන් කළේය.

පවතින ගෝලීය ආර්ථික අර්බුදය හා දේශීය වශයෙන් පැවැති දේශපාලන හා ආර්ථික අස්ථාවර භාවය මත වුවද 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී සෘජු විදේශ ආයෝජන පැමිණීම 38%කින් වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් සඳහන් කළාය.

‘‘මෙම වසරේ මේ වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 604ක ව්‍යාපෘති 30ක් සඳහා අනුමැතිය දී තිබෙනවා. මෙම වසරේ ඉලක්කය ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක ආයෝජන ගැනීමයි. ඇණවුම් අඩු වූ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ට අවශ්‍ය සහයෝගය සහ සහන උපරිම වශයෙන් දෙනවා.’’යැයි ඇමැති දිලුම් අමුණුගම වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ගෙවුණු මාස කිහිපය තුළ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක කර්මාන්ත ශාලා තුනක්, එවැනිම ආයතන දෙකක කර්මාන්ත ශාලා දෙක බැගින් හා තවත් ආයතන තුනක කර්මාන්ත ශාලා ද තාවකාලිකව වසා දමා තිබේ. එලෙස කර්මාන්තශාලා දහයකට ආසන්න ගණනක් තාවකාලිකව වසා දැමීම නිසා එහි සේවය කළ පන්දහසකට ආසන්න සේවකයන් හා ඒ ආශ්‍රිතව වක්‍ර රැකියාවන්වල නිරත වූ විශාල පිරිසකට සිය ආදායම් මාර්ග අහිමි වී තිබේ.

කොග්ගල, මීපේ, මාතලේ, වතුරගම, අනුරාධපුර ආදී ප්‍රදේශවල එලෙස තාවකාලිකව වසා දැමුණු කර්මාන්තශාලාවල සේවය කළ ඇතැමුන්ට ඔවුන් සේවය කළ කාලයට අනුව වන්දියක් ලබා දීමටත්, තවත් සමහර ආයතන කර්මාන්ත ශාලාවේ වැඩ තාවකාලිකව වසා දමා සේවකයන්ට නිවාඩු දී මූලික වැටුප ගෙවීමටද කටයුතු කරන බව වාර්තාවේ.

තවත් පුවත්