A Brand of Non Media Shout (Private) Limited

මම පොඩි කාලේ ඉඳන්ම කාටුන් පිස්සෙක් – දුමාල් වර්ණකුලසූරිය

දුමාල් වර්ණකුලසූරිය කියන්නේ වැඩි සද්දබද්ද නැතිව සාර්ථක ගමනක් යන පුද්ගලයෙක්. රියැලිටි වේදිකාවෙන් බිහි වෙලා අද වෙනකොට අපේ රටේ නමක් සහ තැනක් හදාගත් නිහතමානී කලාකරුවෙක්.

මිතුරන් සමග ‌බෙදාගන්න

දුමාල් වර්ණකුලසූරිය කියන්නේ වැඩි සද්දබද්ද නැතිව සාර්ථක ගමනක් යන පුද්ගලයෙක්.
රියැලිටි වේදිකාවෙන් බිහි වෙලා අද වෙනකොට අපේ රටේ නමක් සහ තැනක් හදාගත්
නිහතමානී කලාකරුවෙක්. මේ යන ගමනේ හිටිහැටියේම දුමාල් NAADA සංගීත
කණ්ඩායමෙන් ඉවත් වුණ පුවතත් ඔහුට ආදරය කරන බොහෝදෙනකුට ගැටලුවක්
වුණා. ඉතින් ඒ හැමදෙයක්ම දුමාල් අපිත් එක්ක බෙදාගත්තෙ මෙහෙම.
‘’NAADA එකෙන් මම අයින් වුණේනම් ප්‍රශ්නයක් ඇති වෙලා නෙවේ. NAADA එකට
සම්බන්ධ වෙන්න කලිනුත් මම ගායකයෙක් විදිහට වැඩ ටික කරන් හිටියනේ.
කණ්ඩායමට සම්බන්ධ වුණාට පස්සේ මම ගොඩක් NAADA එක්කම බැඳිලා හිටියා.
අවුරුදු කිහිපයක් බෑන්ඩ් එක එක්ක ඉන්න ගමන් තමයි මම මගේ පෞද්ගලික සංගීත
වැඩත් කළේ. නමුත් ඇතැම් අවස්ථාවල මගේ පෞද්ගලික වැඩ එක්ක මට බෑන්ඩ් එකට
සම්බන්ධ වෙන්න ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවල්වල මට මගේ පෞද්ගලික වැඩ
සේරම දාලා බෑන්ඩ් එක එක්ක සංචාරය කරන්න සිද්ධ වෙනවා. ඔය දෙකම ගලපගන්න
බැරි අවස්ථාවන් තිබුණා. නිත්‍ය ගායකයෙක් විදිහට ඉන්නවනම් බෑන්ඩ් එකට අපේ
යුතුකම 100%ක්ම ඉටු කරන්න ඕනේ. මගේ සංගීත වැඩ ටික වෙනම කරගෙන යද්දි
බෑන්ඩ් එකේ සාමාජිකයෙක් විදිහටත් ඉඳලා මගේ අතින් අඩුපාඩුවක් සිද්ධ වුණොත් ඒක
මම බෑන්ඩ් එකට කරන ලොකු අසාධාරණයක්. ඒ නිසා මමම හිතලා සියලුම
සාමාජිකයන් එක්ක සාකච්ඡා කරලා ඉවත් වුණා. එයාලත් ඒක තේරුම් ගත්තා. දැන් මම
වෙනුවට ගායකයෙක් ඉන්නවා. හැබැයි අදටත් NAADA සාමාජිකයෙක් නොවුණත් මගේ
උදව් ඕන වෙන හැම මොහොමතකම මම NAADA එක්ක ඉන්නවා.’’

අලුත් ඇල්බම් එක හදලා දැන් කාලයක් ගිහින්. තවමත් එළියට නොදැම්මේ?
මිනිස්සුන්ට මේ කාලේ සින්දු අහන්න තරම් මානසික මට්ටමක් නැති නිසා ඇල්බම් එක
දැන්ම එළියට දාන්නේ නෑ. දෙවෙනි ඇල්බම් එකෙත් වැඩ පටන්අරගෙන තියෙන්නේ.
කාලය හොඳ අතකට පෙරළුණු දාකට ඇල්බම් දෙකම නිදහස් කරනවා. මේ දවස්වල ඊට
අමතරව ප්‍රථම වතාවට ටෙලි නාට්‍යයක් සඳහා සංගීතය සපයන්න මට අවස්ථාවක්
ලැබුණා. ඒ වෙනුවෙන් වෙහෙසෙනවා.

දුමාල්ට තව අපූරු හැකියාවක් තියෙනවා. කලකට ඉහතදී ‘පිස්සු පූසාගේ’ චරිතය
අනුකරණය කරමින් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා. සංගීතයට
අමතරව කාටත් හොරා දුමාල් හඬ කැවීම් ශිල්පියෙකුත් වෙලා වගේ..
මම පොඩි කාලේ ඉඳන්ම කාටුන් පිස්සෙක්. අපේ කාලේ ගියේ පිස්සු පූසා, දොස්තර
හොඳහිත වගේ කාටුන්නේ. ඉතින් කාටුන් එකක් බලලා ආසාවට එහෙම වීඩියෝ එකක්
කළාට ඩබින් කියන්නේ සංකීර්ණ විෂයක්. අධ්‍යයනයකින් තොරව කිසි දෙයක් කරන්න
බෑ. සින්දු කියන්න බැරි මිනිහෙක් සින්දු කිව්වා වගේ වෙනවා මම ඩබින් කරන්න
ගියොත්. ඒක මම නිකන් ජොලියට කරපු දෙයක්. ඒත් එක හිතුවෙවත් නැති විදිහට
මිනිස්සු අතරට ගියා.

කාලෙක ඉඳන් පවත්වගෙන යන වෙනස්ම පෙනුමට හේතුව?
හොඳ ප්‍රශ්නයක්. මම මේ කියන්නේ ඔයාට ඇත්තම කතාව. කරාබු දාන්න, ටැටූ ගහන්න,
අමුතු අමුතු ඇඳුම් ඇඳන් තොරොම්බල් කරන්න මම මාර කැමතියි. මම රියැලිටි
වේදිකාවට මුලින්ම ආවේ කුරුතා ඇඳන්. ඒකට හේතුව මම අවුරුදු පහක් ඉන්දියාවේ
ඉගෙනගත්තේ. ඒ පුරුද්දට මම මෙහේ කුරුතු ඇඳන් තරගෙට සින්දු කිව්වේ. එතනින්
පස්සේ මිනිස්සු බලාපොරොත්තු වුණා දුමාල් කියන කෙනා කුරුතා ඇඳන් තමයි එන්න
ඕන කියලා. මටත් හිතුණා කුරුතා ඇන්දොත් තමයි මිනිස්සු මාව අඳුරගන්නේ, නැත්නම්
අඳුරගන්නෑ වගේ දෙයක්. ඒ නිසා දිගටම කුරුතාම ඇන්දා. පහුකාලීනව මට කුරුතා එක
එපා වුණා. මට මම වෙන්න බැරිනම් වැඩක් නෑ කියන දේ අවසානේ තේරුම්ගත්තා.
හැමෝවම සතුටු කරන්න බැරි නිසා කුරුතාව ගලවලා මම මට ඕන ඇඳුම් අඳින්න
ගත්තා. තට්ටෙ ගාන්නනම් හේතුව මගේ කොණ්ඩෙ හරිම ගොරෝසුයි. අනිවාර්යෙන්
කොණ්ඩෙ හදන්න ජෙල් එකක් ගාන්නම ඕන. ඒවා ගාලා කීයට ගෙදර ආවත් නාන්නත්
ඕන. රෑ නාලා අසනීප වුණාම කටහඬ වෙනස් වෙනවා. ඔය වගේ හේතු නිසා මම
හිතුවා කොණ්ඩෙ කොටටම කපන්න. දැන්නම් හරිම සනීපයි මේ විදිහ. රැවුලත් නිකමට
වවන්න හිතුණා. එහෙම ඉද්දි බිරිඳත් කිව්වා වෙනස්ම පෙනුමක් දිගටම වවලා බලන්න
කියලා. ඉස්සරහදී මේ පෙනුමත් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. දැන් මාව දන්න පිරිස
මේ පෙනුමට හුරු වෙලා.

අර ගජිනිගේ වගේ Hair Cut එක ඇත්තටම තුවාලයක්ද? කට් එකක්ද?
ඒකනම් ඇත්තටම ගජිනිට වුණා වගේම මට වෙච්චි දෙයක්. පොඩි කාලේ පාටි එකක
නට නට ඉන්නකොට තාත්තාගේ යාළුවෙක් ෆෑන් එක නොදැක මාව එකපාරටම ඉස්සුවා.
ෆෑන් තටුවේ ඔළුව වැදිලා මැහුන් දොළහක් දාපු තුවාලේ තමයි ඒ. එතන කොණ්ඩෙ
වැවෙන්නේ නෑ. තට්ටෙ ගෑවට පස්සෙ කැපිලා පේනවා දැන්. ඒ ලයින් එක ලස්සනට
තියෙන නිසා පස්සෙ කාලෙ හිතුණා එදා මාව උඩ දාලා ඒ අන්කල් ඔළුව පලපු එකත්
හොඳයි කියලා.

රියැලිටි වේදිකාවෙන් බිහි වෙන බහුතරයක් ගායක ගායිකාවන් මල් වෙඩිල්ලක් වගේ
ලස්සනට පත්තු වෙලා ඉක්මනටම නිවිලා යනවා. දුමාල් කොහොමද මේ ක්ෂේත්‍රයේ
දිගු කාලයක් පැවැත්ම තියාගෙන යන්නේ?
මගේ ගමන යන්න හදිස්සියක් නෑ. මේ කතාව කවුරුත් කිව්වට පිළිගන්න එකක් නෑ.
මම සුපර් ස්ටාර් එකට ගියෙත් දිනන්න නෙවේ. අම්මලත් කිව්වේ දිනන්න ඕන නෑ ගිහින්
මගේ මූණ මිනිස්සුන්ට මතක හිටින විදිහේ දෙයක් කරන්න. හැබැයි අනිවාර්යෙන්
අන්තිම දොළහට එන්න ඕන. ඔයා දිනුවත් දිනුම් පැරදුණත් ඔයාට අවශ්‍ය දේ වෙලා
තිබුණොත් ඒත් දිනුම් කියලයි එයාලා කිව්වේ. සංගීත ගමනේ ඉස්සරහට යන්න ඕන
පිළිවෙල මම තරගකරුවෙකු වෙලා හිටි කාලේ ඉඳලම Analise කරගත්තා. මං කා
එක්කවත් තරග කරන්නවත් කපන්නවත් යන්නෑ. මගේ පාඩුවේ ගමන යන සරල
පුද්ගලයෙක්. තමන්ට තියෙන හැකියාව හරියට පාවිච්චි කරන්නයි ඕන.

දුමාල් කලකිරීමෙන්ද මේ කතා කරන්නේ?

කොහෙත්ම නෑ. මම කවදාවත් නොකියපු දෙයක් ඔයාට කියන්නම්. කුහකකම් කරන,
මිනිස්සුන්ට කෙනහෙලිකම් කරන පුදුමාකාර සවුත්තු කලාකාරයෝ ඉන්නවා මේ ෆීල්ඩ්
එකේ. ඒක එයාලා ගෙනියයි. එහෙමයි කියලා එයාලට තැන් තැන්වල බැන බැන යන
එකේ කිසිම තේරුමක් නෑ. හිත් නොහොඳ වෙන්න පුළුවන්, වැඩ නැති වෙන්න පුළුවන්,
වැඩවලින් කපලා දාන්න පුළුවන්. මට එහෙම අනන්තවත් වෙලා තියෙනවා. මීට අවුරුදු
ගණනාවකට කලින් එක්තරා ප්‍රසංගයටකට මට ආරාධනා ලැබුණා. මම නම් කියන්නෙ
නෑ. ප්‍රවීණ ගායිකාවන් දෙදෙනක්, ගායකයන් දෙදෙනෙක් සහ මම තමයි ආරාධනා ලබලා
තිබුණේ. වයසින් ගොඩක් වැඩි ප්‍රවීණ ගායකයෙක් සංවිධායකයෙක්ගෙන් අහලා තිබුණා
කවුද ප්‍රසංගයට එන්නේ කියලා. මගේ නමත් කිව්වම ‘ඒ කවුද?’ කියලා අහලා සුපර්
ස්ටාර් එකේ දුමාල් කිව්වම එතුමා කියලා තියෙනවා ‘ආපෝ මේ ඔය එක එක
ස්ටාර්වලට ගිය මිනිස්සු එක්කනම් මම එන්නෑ සින්දු කියන්න. එතකොට මොකද්ද අපිට
තියෙන තත්ත්වෙ” කියලා. මගේ ගණන්හිලව් කතා කරලා සේරමත් ඉවර වුණාට පස්සේ
පැය දෙකකින් විතර ආයේ කෝල් කරලා කියනවා අනේ මල්ලි මෙහෙම පොඩි ප්‍රශ්නයක්
වුණා කියලා. මම ප්‍රසංගය ගැන හිතලා කිව්වා මට වැඩිය මිනිස්සු ඒ පුද්ගලයව දන්න
නිසා ටිකට් ටික විකුණගන්නත් පුළුවන් මම නැති වුණාට කමක් නෑ කියලා. එහෙම
දේවල් ඕන තරම් මට වෙලා තියෙනවා. මාව කපන්න හදන මිනිස්සුන්ට කපන්න
දෙනවා. බුද්ධ දර්ශනයට අනුව කර්මය පඩිසන් දෙනවා. මම ජීවත් වෙන්නෙත් ඒක
හිතේ රඳවගෙන. ඒ නිසා මගේ අතින්නම් කටවත් වැරැද්දක් වෙන්නෙ නෑ. මගේ ගමන
මට පැහැදිලියි.

එරංදි කෞශල්‍යා – ninenews.lk

තවත් පුවත්