A Brand of Non Media Shout (Private) Limited

අමරදේවයන්ගේ සංගීත අසපුවේ වැඩ යළි අරඹයි!

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට

මිතුරන් සමග ‌බෙදාගන්න

ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම සඳහා ප්‍රතිපාදන ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.

එම අසපුවේ ඉදිකිරීම් ඇණහිට ඇති අයුරු පසුගියදා “අද දෙරණ” රට හමුවේ අනාවරණ කළේය.

ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ සලකුණක් බදු පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නමින් පිහිටුවීමට සැලසුම් කළ සංගීත අසපුවේ ඉදිකිරීම් මේ වන විට අතරමඟ අතහැර දමා ඇති බව එහිදී අනාවරණය විය.

එය අද වන විට වල් බිහි වී ඇති අතර කනගාටුවට කරුණ නම් අමරදේවයන්ගේ භෂ්මාවශේෂ ද තවමත් කොළඹ පෞද්ගලික මල්ශාලාවක පැවතීමය.

ජාතියේ මහා ගාන්ධර්වයා ලෙසින් නම් ලද පණ්ඩිත් අමරදේවයන් 2016 වසරේ නොවැම්බර් 03 වැනිදා අභාවප්‍රාප්ත වුණි.

අමරදේවයන් ජීවතුන් අතර සිටියදී කළ ඉල්ලිමක් සහ එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුන් පොරොන්දුවක් අනුව අමරදේව අසපුව ඉදිකිරීමට 2017 වසරේ අගෝස්තු 28 වන දින මුල් ගල තැබුණි.

ඒ බත්තරමුල්ල අපේගම ආසන්නයේ වෙන් කෙරුණු නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 120ක භූමිබාගයක වන අතර ඊට වැය කිරීමට වෙන් කළ මුදල් රුපියල් මිලියන 250කි.

තවත් පුවත්