ඉකුත් යුද සමයේදී සිදුවූ ත්‍රස්තවාදී ක්‍රියා ගණනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අත්‍යවශ්‍යව සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ නාවික හමුදාව සිදුකළ විමර්ශනයකදීය.
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් සංක්‍රමණයවීමට උත්සහ කළ බවට සැක කෙරෙන පුද්ගලයින් 19 දෙනෙකු හලාවත දැදුරු ඔය මෝය ප්‍රදේශයේ දී නොවැම්බර් 09 වනදා නාවික හමුදා භාරයට ගෙන තිබුණි.
ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව සහ හලාවත පොලීසිය එක්ව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී නිතීවිරෝධී ලෙස සංක්‍රමණයවීමට උත්සාහ කළ පිරිස අතර සිටි එම නීතිවිරෝධී සංක්‍රමණ කටයුත්තෙහි සම්බන්ධිකාරක ලෙස කටයුතු කළ මෙම හිටපු එල්ටීටීඊ සැකකරු හඳුනාගෙන ඇත.
මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනා වත්තල හා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් බහුදින ධීවර යාත්‍රාව වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් බවත් හෙළිවී තිබේ.
සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අණාවරනය වූ තොරතුරු මත මෙම ජාවාරම සඳහා යොදාගත් බවට සැක කෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් තවත් සැකකරුවන් පස් දෙනෙකු වෙන්නප්පුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබුණි.
විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ නාවික හමුදා භාරයට ගන්නා ලද බහුදින ධීවර යාත්‍රාව 2021 ඔක්තෝබර් මස 31වන දින වාලච්චේන ප්‍රදේශයෙන් ධීවර කටයුතු සිදුකරන මුවාවෙන් පිටත්වී තිබූ බවය.
2021 නොවැම්බර් මස 05 වන දින හලාවතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයට පැමිණ ඇති එම යාත්‍රාව එදින රාත්‍රියේදී විදේශ රටකට සංක්‍රමණයවීම සඳහා අදාළ පුද්ගලයින් 19 දෙනා එම යාත්‍රාවට නංවාගෙන තිබේ.
නාවික හමුදාව සිදුකරනු ලබන මුර සංචාර හේතුවෙන් හා පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම යාත්‍රාවට ජාවාරම්කරුවන් සැලසුම් කර තිබූ පරිදි මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට යාමට හැකිවී නොමැත.
ඒ අනුව නැවතත් හලාවත ප්‍රදේශයෙන් ගොඩබිම වෙත මෙම පුද්ගලයින් යොමු කිරීමට ජාවාරම්කරුවන් උත්සාහ දැරීමේදී නාවික හමුදා භාරයට පත්වී තිබේ.
හලාවත දැදුරු ඔය මෝය අසලදී නාවික හමුදා භාරයට ගත් නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණයවීමට උත්සහ කළ පුද්ගලයින් නැවත ප්‍රවාහනය කිරීම සඳහා පැමිණ තිබූ වෑන් රථයේ රියදුරු සහ සහයක ඇතුළු පුද්ගලයින් 21 දෙනා සහ ජාවාරමට සම්බන්ධ බහුදින ධීවර යාත්‍රාව සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා මූලික නාවික හමුදා විමර්ශනවලින් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා හලාවත පොලීසිය වෙත භාරදී ඇත.