බොරතෙල් ආනයනය නතර කිරීම තුළින් රට තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පැවසුවේ ලෝකයේ බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක අඛණ්ඩව ඉන්ධන සැපයුමක් ලබාදීමට රජය සමත්වී ඇති බවයි.එය හාස්කමක් බව ද ඒ මහතා පවසනවා.
”තෙල් පිරිපහදුව විවෘත කරනු බොරතෙල් ගෙන එනු කියලා තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති ඊයේ උද්ඝෝෂණයක යෙදිලා ඉන්නවා මම දැක්කා.අප බොරතෙල් ගෙන ඒම නතර කළේ රටේ පවතින විදේශ විනිමය සකසුරුවමින් පාලනය කල යුතු නිසා. උද්ඝෝෂණයක් කළාම ඩොලර් පහළ වෙලා අපිට බොරතෙල් ආනයනය කරගැනීමට හැකියාව ලැබෙනවා කියලා මම කලින් දැනගෙන හිටියනම් මමත් ගිහිල්ලා ඔය උද්ඝෝෂණයට එකතු වෙනවා.මොකද මටත් ඕන බොරතෙල් ආනයනය කරලා හැකි ඉක්මනින් පිරිපහදුවේ වැඩ ආරම්භ කරන්න.ලෝකයේ බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණ දීලා ඉන්න මොහොතක රටේ තෙල් නැති තෙල් ගන්න ඩොලර් නැති ගබඩා කරගන්න ටැංකි නැති ශ්‍රී ලංකාව මෙතෙක් අඛණ්ඩව ඉන්ධන සැපයුම ඇත්තෙන්ම හාස්කමක්.ඉන්ධන සැපයුම සහතික කිරීම ගැන අපේ වෘත්තීය සමිති නෙවෙයි සමස්ත ජාතියම සතුටු වෙන්න ඕන.ඒ වගේම අධික වර්ෂාව නිසා විදුලි බල මණ්ඩලය මේ දිනවල අපෙන් දැවි තෙල් මිලදී ගන්නේ නෑ විදුලි නිෂ්පානය සඳහා දැනටමත් අපි සීමිත ඩොලර් වැය කරලා ගෙනාපු බොරතෙල් වලින් හදපු දැවි තෙල් ටොන් 13 500ක් පාවිච්චි නොකර ටැංකි වල ගබඩා කරලා තියෙනවා.ඒ නිසා බොරතෙල් ආනයනය කිරීම නතර කිරීමෙන් විදුලි කප්පාදුවක් ඇති වෙනවා කියන එක තවත් බොරුවක් පමනමයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.