A Brand of Non Media Shout (Private) Limited

ආපන ශාලාවක ගෑස් පිපිරීමකින් පිළිස්සුම්….

ගම්පොළ බස්නැවතුම්පළේ තිබූ ආපන ශාලාවක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අද (09) උදෑසන පුපුරා ගොස් තිබුණි. පිපිරීමෙන් ආපන ශාලාවේ හිමිකරුට හා සේවකයෙකුට සුළු පිළිස්සුම් තුවාල සිදුව

මිතුරන් සමග ‌බෙදාගන්න

ගම්පොළ බස්නැවතුම්පළේ තිබූ ආපන ශාලාවක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අද (09) උදෑසන පුපුරා ගොස් තිබුණි.

පිපිරීමෙන් ආපන ශාලාවේ හිමිකරුට හා සේවකයෙකුට සුළු පිළිස්සුම් තුවාල සිදුව තිබේ.

සිදුවීම පිළිබඳ විස්තර කළ ආපන ශාලාවේ හිමිකරු,

“එකවරම මේ රෙගියුලේටරය එක ළඟින් තමා ගින්දර ආවේ. කට්ටියම එකතුවෙලා ගෑස් සිලින්ඩරය එළියට ඇදලා දැම්මා. අත පිච්චුණා. පරණ ගෑස් එකක්  තමා මේක.”

ආපන ශාලාවේ සේවකයා,

“එක පාරට ගින්නක් ආවා. රෙගියුලේටර් එක ගලවලා විසික් කරන්න ගියා. එක පාරට මාව පිච්චුණා. දකුණු පැත්තේ ඔළුව පිච්චුණා. අත් දෙකම පිච්චුණා.”

මේ අතර, ලාෆ් ගෑස් භාවිත කරන නොච්චියාගම පහළ මහරගහවැව ප්‍රදේශයේ නිවසක ගෑස් ළිප ක්‍රියාත්මක කිරීමට යාමේදි එය ඊයේ (08) පුපුරා ගොස් තිබේ.

“මේක අපි ඊයේ ළිප දානකොට පෙෂර් එක වැඩියෙන් වේගයෙන් ගෑස් පිටවෙන්න ගත්තා. උදේ මං ඕක රෙගියුලේටරයෙන් ඉවත් කරනකොට ගෑස් පිටවෙන්න ගත්තා කුස්සිය පුරාවට.”

මේ අතර ගෑස් පුපුරායාමේ සිදුවීම් පිළිබඳව සොයා බැලීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ කෙරවලපිටියේ පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගම වෙත පැමිණියේය.

එහිදී ලිට්‍රෝ ගෑස් සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ කමලනාත් වික්‍රමසිංහ මහතා සමග මන්ත්‍රීවරුන් සාකච්ඡා කළේය.

එමෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් සම්බන්ධයෙන් වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව සකස්කළ වාර්තාව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරණු ලැබීය.

මේ අතර පසුගිය දින කිහිපයේ සිදුවූ ගෑස් සිලින්ඩර පුපුරායෑමේ සිද්ධීන් පිළිබඳව කරුණු දැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට, ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයට, ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ඇතුළු ගෑස් කාන්දුවීම්වලට අදාළ සියලුම ආයතන සඳහා අද මානව හිමිකම් කොමිසමේ පෙනී සිටින්නැයි එම කොමිසම නියෝග කර තිබුණි.

එම දැනුම්දීමට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නියෝජිතයින් කිහිපදෙනෙකු සහ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සහකාර අධ්‍යක්ෂවරයා එම කොමිසම වෙත අද පැමිණියේය.

මේ අතර නිසි ප්‍රමිතියකින් තොර ගෑස් මෙරටට ගෙන්වීම හේතුවෙන් ඇතිවූ අනතුරුදායක  සිද්ධීන් සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන හා ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන්ට සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති,ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් යන අයට එරෙහිව අපරාධ නීතිය යටතේ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා හෙට (10) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

තවත් පුවත්