A Brand of Non Media Shout (Private) Limited

එන්නත ලබාගැනීම අනිවාර්යයද?

කොවිඩ් වෛරස ආසාදනය වීම වැළැක්වීම සඳහා එන්නත්  අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

මිතුරන් සමග ‌බෙදාගන්න

කොවිඩ් වෛරස ආසාදනය වීම වැළැක්වීම සඳහා එන්නත්  අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

වයස අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයින්ට කොවිඩ් වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එන්නත් ලබාගැනීම අනිවාර්ය කිරීමට රජය ගෙන ඇති තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බව සඳහන් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය එම දැනුම් දීම සිදුකළාය.

එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය, කොවිඩ් මර්දන එන්නත අනිවාර්යෙන්ම ලබාගත යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නීතියක් හෝ රෙගුලාසියක් පනවා නොමැති බව දන්වා සිටියේය.

අදාළ එන්නත ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් පමණක් යම් පුද්ගලයෙකුට එය ස්වෙච්ඡාවෙන්  ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

එන්නත්කරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශ නිකුත් කිරීමේ බලධාරියා තමන් බවත් මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රජයේ නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදුන් එම ප්‍රතිඥාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සටහන් කර ගැනීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම ජනවාරි මස 11 වන දා තෙක් කල් තැබුණි.

වෛද්‍ය ධරණී රාජසිංහම් ඇතුළු තිදෙනෙකු විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පුද්ගලයින් බලහත්කාරයෙන් එන්නත්කරණය ලක්කිරීම නීතියට පටහැනි බව සඳහන් කළේය.

ව්‍යවස්ථාදායකයේ අනුමැතියක් නොමැතිව එවැනි නීතියක් පැනවීමට වගඋත්තරකරුවන්ට බලයක් නොමැති බවත් මෙහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.

මෙහි වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය ඇමති සූදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබේ.

තවත් පුවත්