පාසල් සිසුවියක් පේරාදෙණිය කළු පාලම අසලින් මහවැලි ගඟට පැන ඇති බවට වාර්තා වේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මහනුවර බාලිකා විදුහලක 11වන ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන සිසුවියක් බව සඳහන් වෙයි.
අදාළ සිසුවියගේ මව්පියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම තොරතුරු අනාවරණ වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඇය ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ බව කියන 20 හැවිරිදි තරුණයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ පසුගිය 09 වනදා සිසුවිය මෙලෙස ගඟට පැන ඇති බවය.
එදින පස්වරු 2.30ට පමණ සිසුවිය ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා පාසල වෙත පැමිණ, එම අවස්ථාවේම නැවත පාසලෙන් පිටව යන අයුරු CCTV කැමරාවේ සටහන්ව ඇත.
සැකකාර පෙම්වතා පොලිසියට පවසා ඇත්තේ එම අවස්ථාවේ සිසුවිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යාබදව පිහිටි කළු පාළම අසලට තමන් හමුවීමට පැමිණි බවය.
සියදිවි හානිකරගැනීම් රැසක් වාර්තාවන බැවින් ප්‍රදේශවාසීන් මෙම පාලම යකා පාලම නම් තවත් අන්වර්ථ නාමයකින් ද හඳුන්වයි.
සැකකාර පෙම්වතා පොලිසියට වැඩිදුරටත් පවසා ඇත්තේ එහිදී සිසුවිය විසින් තම දුරකතනය පරීක්ෂා කර ඇති බවත් එහිදී තමන් විසින් තවත් තරුණියකට යවන ලද කෙටි පණිවුඩ කිහිපයක් දැක එක්වරම සිසුවිය ගඟට පැන ඇති බවත්ය.
එහිදී බියට පත් වූ තමන් සිද්ධිය පිළිබඳව කිසිවෙකුටත් නොපවසා නිවසට වී සිටි බව සැකකාර පෙම්වතා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
මෙම තොරතුරු අනුව පොලිස් ජීවිතාරාක්ෂක අංශයේ නිලධාරීන් කණ්ඩායමක් කළු පාලම අසලින් මහවැලි ගඟට බැස පරික්ෂා කර ඇතත් ඇය පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇත.
සැකකාර තරුණයා අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.