A Brand of Non Media Shout (Private) Limited

වෛද්‍ය ෂාෆි ට හිඟ වැටුප් ගෙවීම ගැන මත ගැටුමක්…

වඳ සැත්කම් සිදුකළ බවට එල්ලවූ චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි සියාබ්දීන්ට හිඟ වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිසම, සෞඛ්‍ය

මිතුරන් සමග ‌බෙදාගන්න

වඳ සැත්කම් සිදුකළ බවට එල්ලවූ චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි සියාබ්දීන්ට හිඟ වැටුප් ගෙවන ලෙස රාජ්‍ය සේවා කොමිසම, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා නොමැති බව එම කොමිසම් පවසයි.

නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය අද (17) යළි නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය කමිටුවේ ලේකම්වරයා පසුගිය නොවැම්බර් 30 වැනිදා සිදුකළ දැනුම්දීමකට අනුව වෛද්‍ය ෂාෆිට හිඟ වැටුප් ගෙවන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බවය.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි සියාබ්දීන් මහතාට හිඟ වැටුප් ගෙවන ලෙස දන්වා කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා පසුගිය 6 වැනිදා ලිඛිතව දැනුම්දී තිබුණි.

අනිවාර්ය නිවාඩු යවා ඇති වෛද්‍ය ෂාෆි හට වැටුප් නොගෙවීමට හේතුව තමා වෙත දන්වන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා එම ලිපියෙන් කුරුණෑගල ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයාගෙන් විමසා තිබේ.

කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඊයේ (16) සඳහන් කළේ වෛද්‍ය ෂාෆි, රාජ්‍ය සේවා කොමිසම වෙත සිදුකළ අභියාචනයකට අනුව එම කොමිසම විසින් අදාළ වැටුප් ගෙවීම සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දී ඇති බැවින් මෙම පියවර ගත් බවය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා එසේ පැවසුවද රාජ්‍ය සේවා කොමිසම් සභාවේ ලේකම් එම්. ඒ. බී. දයා සෙනරත් මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අනිවාර්ය නිවාඩු යවා සිටින වෛද්‍ය ෂාෆි සියාබ්දීන්ට හිඟ වැටුප් ගෙවීම පිළිබඳව හෝ නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව උපදෙස් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වෙනත් කිසිදු ආයතනයක් මේ දක්වා තම කොමිෂන් සභාවෙන් ඉල්ලිමක් කර නොමැති බවය.

එසේම එවැනි උපදේශයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ එහි සෞඛ්‍ය කමිටුව විසින් නිකුත්කර නොමැති බවද රාජ්‍ය සේවා කොමිසන් සභාවේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

කෙසේ වුවද අනිවාර්ය නිවාඩු යවා ඇති නිලධාරියෙකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතනික සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට හැකියාව තිබෙන බව රාජ්‍ය සේවා කොමිසම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

මෙවැනි පසුබිමක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී. එල්. යු. පිරිස් මහතා අද නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කළේ රාජ්‍ය සේවා කොමිසමේ සෞඛ්‍ය කමිටුවේ ලේකම්වරයා පසුගිය නොවැම්බර් මස 30 වන දිනැති ලිපිය මගින් ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ හත්වන පරිඡේදයේ 202 වගන්තියට අනුව ක්‍රියානොකිරීමට හේතු කවරේද යන්න විමසීමට අනුව එකී සෞඛ්‍ය කමිටුව වෙත වාර්තා කිරීම සඳහා වැටුප් ගෙවන ලෙසත්, එසේ කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හේතු දක්වන ලෙසත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත දැන්වූ බවය.

තවත් පුවත්