කොරෝනා රෝගීන් රැගෙන යමින් තිබූ පෞද්ගලික රෝහලකට අයත් සුඛෝපභෝගි වෑන් රථයක් අනතුරට ලක්වන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
ඊයේ (27) සවස පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ දී, නවතා තිබු ලොරි රථයක සහ යතුරුපැදියක ගැටී සිදුවු එම අනතුරින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි අලුබෝමුල්ල පොලීසිය පැවසීය.
අනතුර සිදුවීමත් සමග වෑන් රථය අසලට රැස්වූ ප්‍රදේශවාසීන්, එහි කොරෝනා ආසාදිතයින් සිටින බව දැනගැනීමත් සමග ඉන් ඉවත්ව ගොස් තිබේ.
අනතුරින් තුවාල ලැබූ අවුරුදු 70ක පමණ පුද්ගලයෙක් පානදුර රෝහලට ඇතුළත් කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.
බලංගොඩ ප්‍රදේශයේ සිට පෞද්ගලික රෝහලකට අයත් අනතුරට පත් වෑන් රථයෙන් කොවිඩ් ආසාදිත රෝගීන් පිරිසක් කොළඹ හෝටලයක් වෙත රත්නපුර – පානදුර මාර්ගය හරහා රැගෙන යමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්වූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
වෑන් රථය නවතා තිබු ලොරි රථයේ ගැටීමත් සමග ලොරි රථය ඉදිරියට ඇදී ගොස් නවතා තිබු යතුරුපැදියක හා මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුගේ ගැටී අනතුරුව වෙළෙඳසැලකට කඩා වැදී කාණුවකට වැටී නතර වී තිබේ.
ආසාදිත කොවිඩ් රෝගීන් වෙනත් වෑන් රථයකින් කොළඹ බලා පිටත් කර යැවීමට කටයුතු කර ඇත.
අලුබෝමුල්ල පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.