ජනපති, අගමැති, විපක්ශ නායක අලුත් අවුරුද්දට සුභ පැතුම් එක් කරයි.

ජනාධිපති ගෝඨාභය මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා නව අවුරුද්ද සදහා ජනතාවය සුභ පතමින් අවුරුදු සුභ පැතුම් එක්කර තිබේ.

මිතුරන් සමග ‌බෙදාගන්න

ජනාධිපති ගෝඨාභය මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ශ නායක සජිත් ප්‍රේමදාස මහතා නව අවුරුද්ද සදහා ජනතාවය සුභ පතමින් අවුරුදු සුභ පැතුම් එක්කර තිබේ.

එම සුභපැතුම් පිලිවෙලින්,

ජනාධිපතිතුමන්ගේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය

“උදා වූ නව වසර අලුත් හැඟීම් සමඟ සුබවාදී ව සහ අධිෂ්ඨානශීලී ව අනාගතය දෙස බැලීමට අපව නිතැතින් ම පොළඹවනු ලබයි. එබැවින්, අප 2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්‍යෝගයකින් සහ අපේක්ෂා සහගතව ය.

ගෙවී ගිය වසර රටටත්, ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරී බැලිය යුතු ය. ඒ අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතු ව බව මම විශ්වාස කරමි.

අභියෝග ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදා වන බව මාගේ විශ්වාසයයි. පවතින වසංගත තත්ත්වය හමුවේ අඩපණ වූ ආර්ථිකය සහ ජන ජීවිතය ඉන් වඩාත් සුරක්ෂිත වනු ඇත. ඒ සඳහා වන සැලසුම් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාවට නැංවීමට අපට පුළුවන. සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළිනි. ජයගත් අභියෝග සේ ම ලැබූ අත්දැකීම් නව වසරේ ඒ සඳහා අපව දිරි ගන්වනු ඇත.

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇත. එසේ වුව ද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව සහ සහජීවනය තවදුරටත් තහවුරු වී තිබේ. නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතී. අකර්මන්‍ය ව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය විසින් පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත කෙරෙහි එල්ල වූ හානිකර තත්ත්වයන් සම්බන්ධයෙන් රජය ගත් පියවර ගෝලීය පැසසුමට ද ලක් විය. වසංගත තහංචි මධ්‍යයේ පවා ඔබ අද භූක්ති විඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැපකිරීම්වල ප්‍රතිඵලයක් බව මම සතුටින් සඳහන් කරමි.

ජනතාව පීඩාවට පත් වීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමකි.

අතීතයේ සිට මේ දක්වා පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වා ගනිමින් නව විදේශ සබඳතා ගොඩනඟා ගැනීමට අපට හැකි වීම සුවිශේෂී ආයෝජනයක් ලෙස දකිමි.

එළඹුණු නව වසර ජනතාවට “සෞභාග්‍යයේ දැක්ම” සාක්ෂාත් කර ගැනීම සඳහා කැප වන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

ඔබ සැමට ලැබුවා වූ නව වසර නිදුක්, නිරෝගී, ධෛර්යය සම්පන්න වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.”
-ගෝඨාභය රාජපක්‍ෂ

අග්‍රාමාත්‍යතුමන්ගේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය

“සියලු දෙනාගේ යහපත් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන 2022 නව වසර උදා වී තිබේ.
ජීවිතයේ දුෂ්කර අත්දැකීම්වලින් පන්නරය ලබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජයගැනීමට නව වසර උදාවේ අප සියලු දෙනා අදිටන් කර ගත යුතුය.

ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දෙමින් ගෙවී ගිය වර්ෂය තුළ ශ්‍රී ලංකාව මුහුණ පෑ අභියෝග රැසකි. සමාජ හා ආර්ථික වශයෙන් පැමිණි එම අභියෝග ජය ගැනීම උදෙසා රටක් ලෙස සියලු දෙනා එක්ව ඉටු කරන කැපකිරීම් කෘතඥ පූර්වකව සිහිපත් කරමි.

රජයක් ලෙස අප පසුගිය වසරේ වඩා ප්‍රමුඛත්වය ලබා දුන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් ඔබේ සමීපතමයන්ගේ ජීවිත ඇතුළු රටේ දහස් ගණනක් ජීවිත ආරක්ෂා කර දීමට අපට හැකිවිය.

රට හමුවේ මෙවැනි අභියෝගයක් නොමැති කාලයක පවා අතහැර දැමූ සංවර්ධන ව්‍යාපෘති රැසක් අපි පසුගිය කාලය තුළ ජනතා අයිතියට පත් කළෙමු.

වසංගතය හමුවේ ඒ කිසිඳු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක්‍රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් සංවර්ධන අරුණළු අඛණ්ඩව රටටම විහිදුවාලීම අපගේ රජයේ අනාගත අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජය ගත යුතුය. එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරා බේරාගෙන ඒ සඳහා ක්‍රියාත්මකවීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකිය.

රටට අවශ්‍ය ගැටලු විචාරය කරන්නන් නොව ප්‍රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින් ඔබට විසඳුම් ඉදිරිපත් කරන්නන්ය. ඒ සඳහා ඔබ සියලු දෙනා බලාපොරොත්තුවන නව මාවතක් අදින් පටන් ගන්නා නව වසර තුළ එළිදැක්වෙනු ඇත.

අපි සියලු දෙනා එක්ව බාධක ජයගෙන ජීවිතය දිනන වසරක් බවට නව වසර පත් කරගමු. ඒ සඳහා ජනතාවට ශක්තියක් වීමට රජයක් ලෙස නිරතුරුව කැපවෙන බව මම විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමි.

ශ්‍රී ලාංකික ඔබ සැමට නැවුම් බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවා!”

-මහින්ද රාජපක්ෂ

විපක්ශ නායකතුමන්ගේ නව වසරේ සුබ පැතුම් පණිවුඩය

“ජයග්‍රහණවලට වඩා රටක් ලෙස, පරාජයන් මෙන්ම අහිමිවීම් සහ වේදනාවන් රැසක් අත්විඳි වසරක් නිමාවී නව වසරක් උදා වන මේ මොහොතේ ශ්‍රී ලාංකේය පුරවැසි සියලු දෙනාට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරමු.

හෘද සාක්ෂියට එකඟව හර්දයාංගම සුබපැතුමක් පතනවා හැරුණුකොට මේ මොහොතේත් පීඩාව සහ දුක් දොම්නස් අත්විඳිමින් සිටින ශ්‍රී ලාංකේය ජනතාවට ව්‍යාජ සුරංගනා ලෝකයක් පිළිබඳව හිස් ප්‍රාර්ථනාවන් කිරීමම රටේ ජනතාවට කරනු ලබන නිගාව කැයි අප විශ්වාස කරමු.

කොරෝනා ව්‍යසනය මැද පහළොස් දහසකට ආසන්න පුරවැසි පරපුරක් අහිමි වූ තත්ත්වයක් තුළ, චිරාත් කාලයක් මුලුල්ලේ සුපුරුදු පරිදි නව වසරේ පළවෙනි දාට ඉගෙන කිරිබත හෝ පිස ගන්නට නොහැකි තරමට ආර්ථිකය බංකොලොත් වූ තත්ත්වයක් තුළ, කොයි මොහොතක හෝ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාවිදැයි සිතා ගන්නට නොහැකිව දෙගිඩියාවෙන් ගෘහනියන්ට මුළුතැන්ගෙට යන්නට සිදුව ඇති තත්ත්වයක් තුළ, රට සතුව පවතින අවසාන සංචිත පවා අහිමි වී නව වසර ආරම්භයේදීම දැවැන්ත ණය වාරිකයක් එතෙරට ගෙවීමට නියමිතව ඇති තත්ත්වයක් තුළ, කුසගින්න දරාගන්නට නොහැකිව හඬා වැලපෙන සහ මන්දපෝෂණය මෙන්ම අඩු බර උපත් දරුවන් සංඛ්‍යාත්මකව ඉහළ ගිය තත්ත්වයක් තුළ ද, අධ්‍යාපනය පවා කඩා වැටී දූ දරුවන්ගේ අනාගතය පිළිබඳව බරපතළ ප්‍රශ්න ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව ඇති වටපිටාවක් තුළ ද,තරුණ පරපුර රැකියා අහිමිව අනාගතය පිළිබඳව අපේක්ෂා භංගව ජීවත්වන තත්ත්වයක් තුළ ද, ගොවි ජනතාව සිය පාළු වූ කෙත් වතු දෙස සුසුම් හෙළමින් සිටින තත්වයක් තුළ ද, සකලවිධ කම්කරු ප්‍රජාව තමන්ට හිමි අවම වරප්‍රසාදය පවා අහිමිව ගිය තත්ත්වයක් තුළ ද අප නව වසරට මුහුණ දෙමින් සිටිමු.

මේ තීරණාත්මක තත්ත්වයට මුහුණ දිය හැක්කේ බල න්‍යාය පත්‍රය ස්වකීය අතේ රඳවාගෙන නොවන බවත්, ඒ වෙනුවට කළ යුත්තේ සාමූහික ප්‍රයත්නයකින් මේ ගරාවැටුණු තත්ත්වයෙන් රට ගොඩනැගීම බවත් අපි යළි යළිත් අවධාරණය කරමු.

මේ රටේ පුරවැසි පරම්පරාවේ නාමයෙන් අපි නැවත ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ මේ ජාතික ව්‍යසනකාරී මොහොතේ පටු බල උන්මාදය වෙනුවට නිරහංකාර ජනතාවාදී වැඩපිළිවෙලකට අවතීර්ණ වන ලෙසය.

විවිධ ව්‍යසනයන්ට මුහුණ දෙමින් ලෝකයේ විවිධ රටවල් නැවත අළු දූලි මතින් නැගී සිටි ආකාරය සිහිනුවණින් කල්පනා කළ යුතු කාලය එළඹ ඇති අතර මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ඉක්මවන ජනතාවගේ සහ මතු පරම්පරාවේ, නාමයෙන් වගකීම් සහගතව කටයුතු කිරීමෙහි පරම අවස්ථාව එළඹ තිබෙන බව අප යළිත් සිහිපත් කරමු.

අභාග්‍යසම්පන්න කාලසමයක් තුල සකල ලෝකවාසීන්ටම අලුතින් සිතිය යුතු පාඩම සොබාදහම විසින් ද නිහඩවම කියාදී ඇති අතර, ඒ සියල්ල පිළිබඳව අධිෂ්ඨානශීලීව කල්පනා කරමින් අලුත් අවුරුද්ද අලුත් ආරම්භයක හැඟීම් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් පරිවර්තනය කරගත යුතු යැයි අපි විශ්වාස කරමු.

රටක් ලෙස නැවත නැගී සිටීමේ උදාර අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම වෙනුවෙන් සමස්ථ ශ්‍රී ලාංකේය ආදරණීය ජනතාවටම ජවය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.”

– සජිත් ප්‍රේමදාස

තවත් පුවත්