A Brand of Non Media Shout (Private) Limited

රටට නායකත්වය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් – හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන…

රටට නායකත්වය දීම සදහා පුළුල් දේශපාලන බලවේගය බවට පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. 2022 වසර

මිතුරන් සමග ‌බෙදාගන්න

රටට නායකත්වය දීම සදහා පුළුල් දේශපාලන බලවේගය බවට පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

2022 වසර සදහා සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා සිටිනවා.

“2022 අභිනව රාජ්‍ය වර්ෂයේ උදා වෙද්දී හුදු සුභපැතුම් පණිවුඩයක් පමණක් නිකුත් කිරීම ප්‍රමාණවත් නොවන බව මාගේ විශ්වාශය යි. ඊට හේතුව අප සියලු දෙනාහට ඉතිහාසයේ පෙර නොවූ විරූ අභියෝග රැසක් හා අවිනිශ්චිතතාවන් අතරමැද විපිලිසරව දිවි ගෙවන්නට සිදුවී තිබීමයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින්, 1948දී ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය ප්‍රදානය කිරීමෙන් පසුව ගතවූ හැත්තෑ තුන් අවුරුද්ද තුළ ආර්ථිකය, දේශපාලනය, සමාජය, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආදී සියලු ක්ෂේත්‍රයන්හි යම් තරමකට හෝ පෙනෙන්නට තිබූ ප්‍රගතිශීලී, දේශජ, ස්වදේශිකවාදී ප්‍රවණතාවන් හා උත්සාහයන්, 1977 ඇරඹී ආරථික ලිබරල්කරණය පදනම් කරගත් රාජ්‍ය පාලන ප්‍රතිපත්ති හේතුවෙන් සුනුවිසුණුවී ගියේය. වෙනත් වේශයකින් අප ආක්‍රමණය කළ ගෝලීය අධිරාජ්‍යවාදය, අප හුදෙක් නිශ්ක්‍රිය පාරිභෝගියකයන් පමණක් බවට පත් කළේය. පුළුල් සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාර නොමැතිව අකර්මන්‍ය වන පුරවැසියෝ ඉබාගාතේ සම්මුතික නොවන පාලන තන්ත්‍ර බිහි කළෝය. පාලකයෝ නව යටත්විජිතකරණ කෲරත්වයේ ගොදුරු හෝ ඉත්තන් බවට පත්වූහ.මෙම සන්දර්භය තුළ සමකාලීනව විද්‍යාමාන වන ආර්ථික අර්බුධයන් හෝ අනුසාංගික සමාජ ගැටළු එක් ආණ්ඩුවක් පමණක් පිට පැටවිය නොහැකි බව මාගේ විශ්වාශයයි. දේශීය ප්‍රතිගාමීත්වයද, ජාත්‍යන්තර වානිජ-දේශපාලනික කූඨෝපායද එක් පිලක්ව අපේ ප්‍රගතිශීලී ව්‍යායාමයන් නිර්ලජ්ජිතව ව්‍යර්ථ කළ බව අප පිළිගත යුතුව තිබේ. එහෙත් ඇතැම් යුග වලදී යම් තරමක් දුරට හෝ කළමනාකරණය කරන්නට වෙරදැරූ ඇතැම් අර්බුධ හා අභියෝග තවත් යුගයකදී වඩාත් ත්‍රීව්‍ර වූයේ රාජ්‍ය පාලනයේ හා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කළමනාකරණයේ අසමත්කම් නිසාය. වත්මන් ආර්ථික අර්බුධයේ බලපෑම නාගරික ග්‍රාමීය හා වතුකර දිළිඳු ප්‍රජාවන්ට පමනක් නොව මධ්‍යම පන්තික පුරවැසියාට වුව දරාගැනීම උගහට ය. දේශීය සම්පත් හා ජාතික වත්කම් විකුණා දැමීමේ අදූරදර්ශී ආර්ථික මූලෝපාය විසින් අප තවත් සියවසක්වත් දුබලවීම වැලැක්විය නොහැක.ආර්ථිකයේ හදවත බඳු කෘෂිකර්ම කෂේත්‍රයද, බලශක්තිය, දේශීය කර්මාන්ත, ආදී අංශයන්හි තීරණාත්මක කඩාවැටීම කොවිඩ් -19 වෛරසයේ බලපෑමට පමණක් බැර කළ නොහැක. කොවිඩ්-19 බලපෑම අපේ පැවැත්මට ජාතික වශයෙන් හා කුටුම්භ වශයෙන් දැවැන්ත බලපෑමක් ඇති කළ බව සැබෑවක් නමුදු, දේශීය වෛද්‍ය ඥානය හා නූතන බටහිර වෛද්‍ය විද්‍යාවත්, තාක්ෂණයත් සමග මනා අනුසන්ධානයකින් වසංගතය කළමනාකරණයේදී චීනය ආදී රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග හා සසඳද්දී අප තරමක් පසුගාමී ය. යටත් විජිත පාලනයෙන් මෙපිට ලාංකේය දේශපාලනය අපට ඉතිරිකර ඇති පාඩම් අතිමහත් ය. අනාගතය සඳහා වගකිවයුතු අප වර්තමානයේදී ඒ පාඩම් කොතරම් ගුරු කොට ගන්නේද යන්න ගැටළුවකි.සහශ්‍ර වර්ෂ දෙකහමාරකට වැඩි ශ්‍රී ලංකාවේ ලීඛිත ඉතිහාසය ජාතික අභියෝගයන්හිදී අප වඩ වඩාත් ධෛර්ය සම්පන්නව කටයුතු කළ ආකාරය අපට කියා දෙයි. ජාතික වශයෙන් උද්ගතවූ ගැටළු කළමනාකරණය කරගනිමින්, අති දැවැන්ත ජාත්‍යන්තර ආක්‍රමණ පවා අප කළමනාකරණය කර ඇත්තේ දියුණු දේශාපාලනික උපාය ඥානයකින්, කැපවීමකින් යුක්තව ය. වර්තමානයේදී අප ආර්ථික වශයෙන් සමෘද්ධිමත් ජාතියක් වනවා මෙන්ම දියුණු හා අනාගතවාදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපනය කරගනිමින් ගෝලීය ආර්ථික දේශපාලන ප්‍රවණතා හමුවේ අදීනව අප අනන්‍යතාව පවත්වා ගත යුතු වෙයි.දැනුම් මූලික තොරතුරු සමාජයක ජීවත්වන වර්තමාන දරුවන් හෙවත් අනාගත පුරවැසියන් අපේක්ෂා කරන්නේ යල්පිනූ, ගතානුගතික දේශපාලන නායකත්වය නොවේ. දේශපාලන සංස්කෘතිය මෙන්ම රාජ්‍ය සේවයේ නිලතන්ත්‍රයද ආයතනික වශයෙන් පූර්ණ ගුණාත්මක වෙනසකට ලක් කළ යුතුව තිබේ.පුරවැසියා සවිබල ගැන්වීමටද, සම්මුතික දේශපාලනයක් සදහා පුරවැසියන්ගේ සාධනීය හවුල්කාරීත්වය තාර්කිකව ලබාගැනීමටද අප සමත්විය යුතුය. පක්ෂ දේශපාලනයේ ග්‍රහණයට ගත නොහැකි නව සංවර්ධන දැක්මක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය ය. 1951 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකරමින් අප පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ඉදිරිපත් කළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික ස්වයංපෝෂිතතාව හා සංස්කෘතික පුනර්ජීවනය යන දෘෂ්ටිවාදී ආකෘතියේ නූතනවාදී සංවර්ධනයන් සමගින්, රටට නායකත්වය දීමේ පුළුල් දේශපාලන බලවේගය බවට පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව වගකීමෙන් යුක්තව දැනුම් දෙමි.ගෞරවණීය ස්වාමීන් වහන්ස, අන්‍යාගමික පූජකතුමනි, ආදරණීය රටවැසි ආර්ය සහෝදරය, සහෝදරිය, ආර්ය දරුවෙනිමේ උතුම් දේශය සංවර්ධිත සෞභාග්‍යමත් දේශයක් කරා මෙහෙයවීමේ උත්තුංග යුගකාරක මෙහෙවරට උදාවන 2022 රාජ්‍ය වර්ෂයේදී කාර්යක්ෂමව දායක වන්නැයි ආරාධනා කිරීම හුදු සුභපැතුමකට වඩා සුදුසු යැයි මම සිතමි”


තවත් පුවත්