A Brand of Non Media Shout (Private) Limited

ජය ශ‍්‍රී සංගීත කණ්ඩායමේ රෝහිතට රොහාන්ට උසාවියේදී චෝදනා..

අධිකරණ නියෝග කඩා ගී ගැයීමේ චෝදනාව: අධිකරණය විසින් පනවා තිබූ තහනම් නියෝගය කඩකරමින් තහනමට ලක්කර තිබූ ජනප‍්‍රිය ගීත තුනක් පසුගිය දෙසැම්බර් 31 වැනිදා ප‍්‍රධාන

මිතුරන් සමග ‌බෙදාගන්න

අධිකරණ නියෝග කඩා ගී ගැයීමේ චෝදනාව:

අධිකරණය විසින් පනවා තිබූ තහනම් නියෝගය කඩකරමින් තහනමට ලක්කර තිබූ ජනප‍්‍රිය ගීත තුනක් පසුගිය දෙසැම්බර් 31 වැනිදා ප‍්‍රධාන පෙළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති වැඩසටහනකදී ගායනා කළේ යැයි කියන ජය ශ‍්‍රී සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රොහාන් ජයලත් යන වගඋත්තරකරුවන්ට ඊයේ (27දා) කොළඹ වාණිජ මහාධිකරණය හමුවේදී අධිකරණයට අපහාස කිරීම යටතේ ගොනුකර තිබූ චෝදනා පත‍්‍රය කියවා දුන්නේය.

තමන් එකී චෝදනාවලට නිවැරදිකරුවන් බවත් එදින එම වැඩසටහනේදී විකාශනය කර ඇත්තේ පෙර පටිගත කරන ලද ගීත මිස සජීවී පටිගත කිරීම් නොවන බවත් වගඋත්තරකරුවෝ දෙදෙනා එහිදී අධිකරණයට පැවසූහ. ඒ අනුව එකී චෝදනා විභාගය සම්බන්ධයෙන් නියෝගය ලබන 23 වැනිදා නිකුත් කිරීමට තීරණය කළ වාණිජ මහාධිකරණ විනිසුරු ප‍්‍රියන්ත ලියනගේ මහතා ජය ශ‍්‍රී සංගීත කණ්ඩායමේ ගීත 20කට පනවා තිබූ වාණිජ නියෝගය එදින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළේය.

එමෙන්ම එම වාරණ නියෝගය වෙනුවට ස්ථිර අතුරු තහනම් නියෝගයක් පැනවීම සම්බන්ධයෙන් නියෝගද එදින නිකුත් කිරීමටද විනිසුරුවරයා තීරණය කළේය.

ජය ශ‍්‍රී සංගීත කණ්ඩායම ගායනා කළ ‘මොඞ් ගොවියා’ ගීතය ඇතුළු ජනප‍්‍රිය ගීත 20ක් ගායනා කිරීමට ප‍්‍රවර්ධනය කිරීම අලෙවි කිරීම හා අන්තර්ජාලය වෙත මුදාහැරීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය මින් පෙර වාරණ නියෝගයක් පනවා තිබිණි.

එම ගීත රචනා කර තනු නිර්මාණය කළ ජය ශ‍්‍රී සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වන අරුණ ලියනගේ මහතා විසින් බුද්ධිමය දේපළ පනත යටතේ ගොනු කර තිබූ නඩුවක් කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලූ විනිසුරුවරයා රෝහිත ජයලත් හා රොහාන් ජයලත් යන වගඋත්තරකරුවන්ට එම වාරණ නියෝගය නිකුත් කර තිබිණි.

තවත් පුවත්