විදේශීය බහුදින ධීවර යාත්‍රාවක තිබී හෙරොයින් තොගයක් මුහුදට දැමූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනා ඉදිරි විමර්ශන සඳහා කොළඹ වරාය වෙත රැගෙන විත් තිබේ.
පසුගිය ජනවාරි මස 26 වන දින කරන ලද විශේෂ මෙහෙයුමක දී ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමට සුදානම් වී තිබුණි.
එම අවස්ථාවේ දී එහි තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 200ක පමණ තොගයක් එම යාත්‍රාව මඟින් මුහුදට දමා ඇති අතර, නාවික හමුදාව එම යාත්‍රාවට ගොඩවී සිදුකර පරීක්ෂාවේ දී ඉතිරිව තිබු හෙරොයින් ග්‍රෑම් 250ක පමණ ප්‍රමාණයක් හා චන්ද්‍රිකා දුරකථන සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගැණුනි.
සැකකටයුතු යාත්‍රාවෙන් මුහුදට දැමූ මත්ද්‍රව්‍ය බහාලූ උර තිබේදැයි නාවික හමුදා විශේෂ කණ්ඩායමක් යොදවා එම මුහුදු ප්‍රදේශය පරීක්‍ෂා කළත්, මුහුදේ රළු ස්වභාවය සහ මීටර 3,800ක් පමණ වූ ගැඹුර හේතුවෙන් සැකකරුවන් විසින් මුහුදට දැමූ උර කිසිවක් නිරීක්‍ෂණය නොවූ බව නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් මෙරටට ඇතුළු වීම වැළැක්වීමට හැකියාව ලැබුණු බව නාවික හමුදාව සඳහන් කරයි.
ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාව ජාත්‍යන්තර මුහුදේ සති 02ක පමණ කාලයක් ආවේක්‍ෂණය කරමින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
එහිදී, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, දෙවුන්දර සිට නාවික සැතපුම් 1081 පමණ දුරින් වූ ජාත්‍යන්තර මුහුදේ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා ධීවර යාත්‍රාවක් වෙත හුවමාරු කිරීමට සූදානම්ව සිටි එම විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය වී ඇත.