A Brand of Non Media Shout (Private) Limited

කොවිඩ් මරණ අවම කර ගැනීම සඳහා තවත් ඖෂධයක්

විවිධ හේතුමත ප්‍රතිදේහ ගොඩනගා ගත නොහැකි කොවිඩ් ආසාදිතයින්ට ලෝකයේ සෙසු රටවල් පිළිගත් ඖෂධ ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මේ වනවිට වෛද්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුවී ඇත.

මිතුරන් සමග ‌බෙදාගන්න

විවිධ හේතුමත ප්‍රතිදේහ ගොඩනගා ගත නොහැකි කොවිඩ් ආසාදිතයින්ට ලෝකයේ සෙසු රටවල් පිළිගත් ඖෂධ ලබාදීමට ඇති හැකියාව පිළිබඳව මේ වනවිට වෛද්‍ය විශේෂඥයින්ගේ අවධානය යොමුවී ඇත.
ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ, අවයව බද්ධ කළ පුද්ගලයින් ඇතුළු විවිධ හේතු මත සිරුරේ ප්‍රතිදේහ ගොඩනගා ගැනීමට නොහැකි අධිඅවදානම් කොවිඩ් ආසාදිතයින් මිය යාමේ ප්‍රතිශතය වැඩි වී ඇති බවය.

මෙවැනි රෝගීන් වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකවල රඳවා තබා ගැනීමට සිදුවීම නිසා සම්පත් භාවිතයේදීත් බරපතල අර්බුදයකට පත්වන බව එම සංගමය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාට ලිපියක් යවමින් දැනුම් දෙන්නේ, මෙවැනි අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොවිඩ් රෝගීන් සඳහා කැසිරිවිමැබ් සහ ඉම්ඩෙවිමැබ් නමැති ප්‍රතිදේහ ඖෂධ එක්කර ලබාදීම සාර්ථක ප්‍රතිඵල අත්කරදෙන බවට සාක්ෂි ඇති බවය.

රීජන් කොව් නමැති කෙටි නාමයෙන් හඳුන්වන මෙය කොවිඩ් ආසාදිතයින්ට හදිසි භාවිතය සඳහා ලබාදීමට අමෙරිකාවේ ආහාර හා ඖෂධ අධිකාරිය, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍ය සහ ජපානය මේ වනවිට අනුමැතිය ලබාදී ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.

රීජන් කොව් මෙරට තුළ ද භාවිතය සඳහා හැකි ඉක්මණින් අනුමැතිය ලබාදෙන ලෙස ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන් ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අතර මෙම ඖෂධය හැකි ඉක්මණින් මෙරටට ගෙන්වීමට පියවර ගන්නැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉල්ලීමක් කර ඇත.

උපුටා ගැනීම –

අමෙරිකා එක්සත් ජනපදයේ සිටින මාගේ මිතුරන් මාහට පවසන්නේ රෝගය උත්සන්න වීම වැළැක්වීම මගින් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා දුන් ආශ්චර්යමත් ඖෂධයක් ලෙස මෙය සැලකෙන බවයි.

එම නිසා ශ්‍රී ලංකා රජය විසින් අදාළ විශේෂඥයින්ගේ අදහස් ලබාගෙන ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මෙම ජීවිතාරක්‍ෂක ඖෂධය මිලදී ගැනීමට කටයුතු කිරීම ඥානාන්විත වනු ඇත.

උපුටා ගැනීම අවසන් –

අප මේ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු පැවසුවේ, ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ් පිළිබඳ කමිටුව මෙම ඖෂධ ගෙන්වීමට අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

එහි ඵලදායීතාවය පිළිබඳව විශ්වසනීය සාධක නොමැති බැවින් මෙම පියවර ගත් බව ද ඔහු කියා සිටියේ ය.( Nine News )

තවත් පුවත්